පාස්කු වාර්තාව විතරක් ඇයි.. නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරන්න… සිරකරුවන් ගෙදර යවන්න.. දඩ ආපසු ගෙවන්න.. දික්කසාද අය කසාද බන්දන්න..! – ගම්මන්පිලගෙන් විජිතට ටොකු…

October 23, 2024 at 2:02 pm | by emanisa.lk

හිටපු මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් සකස් කළ පාස්කු විමර්ශන වාර්තාව මෙන් ම ඇය දුන් අධිකරණ තීන්දු ද ප්‍රතික්ෂේප කරන්නේ දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

හිටපු විනිසුරුවරියගේ අතීත හැසිරීම මත පාස්කු විමර්ශන වාර්තාව ප්‍රතික්ෂේප කරන බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ඊයේ (22) සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් හෙතෙම අද (23) මේ බව ප්‍රකාශ කළේය.

“විජිත හේරත් ඇමැතිතුමා මේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් කිව්වේ නෑ. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු ප්‍රතික්ෂේප කළෙත් නෑ. එතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ කමිටුවේ ප්‍රධානත්වය දැරූ විනිසුරුවරිය 2004 දී විෂමාචාර චෝදනාවක් මත රැකියාවෙන් ඉවත් වෙලා 2006 සිට නැවත සේවයට පැමිණියා කියන කාරණය මත.

වසර දෙකක් සේවයේ නොසිටීම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම් 2006 සිට 2023 දක්වා වසර 17ක් එතුමිය විනිසුරුවරියක් ලෙස ලබා දුන් සියලු නඩු තීන්දුත් ප්‍රතික්ෂේප කරනවාද? එතුමිය සිර දඬුවම් ලබා දුන් සිරකරුවන් නිදහස් කරනවාද? අය කළ දඩ නැවත ඒ පුද්ගලයන්ට ගෙවනවාද? දික්කසාද කළ අය නැවත කසාද බන්දනවාද කියන කාරණයත් විජිත හේරත් මැතිතුමා රටට පැහැදිලි කළ යුතුයි.

කමිටුව ගැන විවිධ චෝදනා නගන ඇමැතිතුමා කමිටුවේ හරය ගැන වචනයක් කතා කරන්නේ නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා දවස් 12ක් සිටීමෙන් පාස්කු ප්‍රහාරය නොසැලකිල්ලෙන් සිදුවීමට ඉඩහැරීමේ වරදට රවී සෙනෙවිරත්න මහතා වැරදිකරු ද නිවැරදිකරුද? මට හෝ විනිසුරුතුමියන්ට පහර දීමෙන් රවී සෙනෙවිරත්නගේ නොසැලකිල්ල නිසා මේ මහා අපරාධය වුණා කියන චෝදනාව වෙනස් වෙන්නේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *