පාස්කු ප්‍රහාරය ගැන රවී සෙනෙවිරත්න දැනුම්වත්… වළක්වා ගන්න කිසිවක් කර නෑ… ඔහු වහා ධුරයෙන් නෙරපනු…!

October 21, 2024 at 11:57 am | by emanisa.lk

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් පාස්කු ප්‍රහාරය එල්ල වීමට සති දෙකකට පමණ පෙර ඊට සම්බන්ධ වන ත්‍රස්ත කණ්ඩායමේ නම් ඡායාරූප ලිපින දුරකතන අංක සහ ගැවසෙන ස්ථාන ඇතුළු සියලු තොරතුරු එවක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට දැනුම් දී ඇති බව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට බුද්ධි අංශ සහ පොලිසිය අපොහොසත් වීම පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව තහවුරු කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඒ අද(21) ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකළ පාස්කු ප්‍රහාරය පිළිබඳ පත්කළ විශේෂ කමිටු දෙකක වාර්තා ප්‍රසිද්ධ කිරීමට කැඳවා තිබූ මාධ්‍ය හමුව අමතමිනි.

ගම්මන්පිල එහි දී කමිටු වාර්තා දෙකක් පිළිබඳ කරුණු හෙළිදරව් කළ අතර ඒ චැනල් ෆෝ නාලිකාව විසින් එල්ල කර තිබෙන චෝදනා පිළිබදව සොයා බැලීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද ඉමාම් කමිටුවේ වාර්තාව සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට බුද්ධි අංශ සහ පොලිසිය අපොහොසත් වීම පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුවක වාර්තාවයි.

මෙම දෙවන වාර්තාව, 2024 සැප්තැම්බරයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබේ. එම වාර්තාවට අනුව, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක විසින් කතෝලික පල්ලි ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බව 2019 අප්‍රේල් මාසයේ 09 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට භාර දී තිබේ.

අප්‍රේල් නමය මේ ලිපිය ලැබෙද්දී රවී සෙනෙවිරත්න විදෙස්ගතව සිට ඇති අතර නැවත ඔහු ලංකාවට ඇවිත් ඇත්තේ අප්‍රේල් 16 වන දා ය. බුද්ධි අංශ විසින් ලබා දී තිබුණු වාර්තාව තුළ ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබෙන ත්‍රස්ත කණ්ඩායමේ නම් දුරකථන අංක සහ ජාතික හැදුනුම්පත් අංක ඇතුළුව සෑම තොරතුරක්ම ඇතුළත්ව තිබුණ ද එම වාර්තාව අනුව කටයුතු කිරීමට එවකට රහස් පොලිසිය භාරව සිටි රවී සෙනෙවිරත්න මහතා කටයුතු- නොකර නොමැති බව ගම්මන්පිල චෝදනා කරයි. ඊට දින 5කට පසු එනම් අප්‍රේල් 21 වන දා ප්‍රහාරය එල්ල විය.

රවී සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුවක චූදිතයකු වුව ද ඔහු මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හෙයින් ඔහු යටතේ ක්‍රියාත්මක වන පොලිසිය මගින් සාධාරණ පරීක්ෂණයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙන උදය ගම්මන්පිල රවී සෙනෙවිරත්න වහාම අදාළ ධුරයෙන් ඉවත් කළ යුතු බව අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *