මෑත කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම පාතාල සාමාජිකයින් අතර බැකෝ සමන්, නිලංග සහ කමාන්ඩෝ සලින්ත ද සිටින බව පොලීසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවටත් එතැනින් ඉන්දුනීසියාවටත් පැන ගොස් සිටි මෙම පාතාල කල්ලි සාමාජිකයින් අත් අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ඔත්තුකරුවකු විසින් පොලීසියට ලබාදුන් තොරතුරක් අනුව බව ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ඔත්තුකරු තවත් ප්‍රබල පාතාලයින් කිහිප දෙනෙකුම පිළිබඳ තොරතුරු ලබාදී ඇති අතර ඔවුන් ද නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිතය.
කෙහෙල්බද්දර පද්මේ මෑතකදී පුවත් මවන්නෙකු බවට පත්වූයේ හිටපු පාතාල නායකයකු වූ ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි මැදිරියක විත්තිකූඩුවක් තුළදීම වෙඩිතබා ඝාතනය කිරීමත් සමග ය.