පාතාළය මඩින STF නිලධාරීන්ට රාජ්‍ය ආරක්ෂාව… බොරු නඩු උගුල් ගලවන්න නීතිපතිට නියෝග…!

October 19, 2024 at 1:12 pm | by emanisa.lk

හිස ඔසවමින් ඇති පාතාලය මැඬලීමට නම් පාතාල මර්දනයට කැපවුණු නිලධාරීන්ට පවරා ඇති මානව හිමිකම් නඩු හා අත්අඩංගුවට ගැනීමේ නියෝගවලින් ඔවුන් මුදාහැරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මෙහිදී පෙන්වාදී ඇත්තේ, පාතාල මර්දනයට කැපවූ සිය නිලධාරීන් මානව හිමිකම් කඩකළ බව කියමින් දැනටමත් නඩු දාහතක් විභාග වන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ අවස්ථාවේ, හිස ඔසවන පාතාලය මැඬලීමට ඇති ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීමේදී මේ බව හෙළිව ඇත. මෙම ආරක්ෂක කවුන්සිලයට නීතිපති පාරින්ද රණසිංහද කැඳවා ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් වහාම මේ සඳහා මැදිහත්වන්නැයි නීතිපතිට දැනුම්දී ඇත.

පාතාල මර්දන මෙහෙයුම්වලට එක්වූ නිලධාරීන්ට අපරාධකරුවන්ගේ පාර්ශ්වලින් පවරා ඇති නඩුවලට නීතිපතිවරයා පෙනී නොසිටින අවස්ථාවල දී තම පුද්ගලික මුදලින් නීතිඥවරුන් සොයා ගැනීමට එම නිලධාරීන්ට සිදුවී තිබේ.

පාතාළ මර්දන මෙහෙයුම්වලදී වෙඩි හුවමාරුවලට ලක්ව මියගිය පාතාලයන්ගේ නඩු තීන්දුව නොදී නඩු දිග්ගැස්සීම නිසා නිලධාරීන් කලකිරීමට පත්ව මෙහෙයුම්වලින් ඉවත්ව ඇතැයි නිලධාරීහු පෙන්වා දී ඇත.

වහාම තමාගේ මැදිහත්වීමෙන් මෙම කටයුතු නිරාකරණය කර දෙන බවට නීතිපතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයේදී පොරොන්දු වී ඇත. භූමියේ පාතාලය මැඬලීමට ආරක්ෂක සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාතාලය මැඬලීමට නිලධාරීන් ඉදිරිපත් නොවනු ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
පසුගිය රජයන්වලදීත් මෙම ප්‍රශ්න උද්ගතවී හිටපු නීතිපතිවරුන් කැඳවා කෙතරම් එකඟතා ඇතිකර ගත්තද විසඳුම් නොලැබුණු බව ද එහි දී නිලධාරීන් පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *