ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් ආණ්ඩු පෙරළන්න දෙන්න බෑ…! අසීමිත නිදහස රට අවුල් ජාලයක් කළා..! – අස්ගිරි අනුනාහිමි හෙලිකොප්ටර් නායකයින්ට කියයි…

April 21, 2023 at 11:29 am | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදය අනිසි ලෙස භාවිත කරමින් රාජ්‍ය විරෝධයක් ගොඩනැඟීමට කිසිවකු හෝ උත්සාහ කරන්නේ නම් ඊට ඉඩ දී බලා සිටීමේ හැකියාවක් රජයකට නැති බවත්, රාජ්‍ය පාලනය ගෙන යෑමේදී යම් යම් අවශ්‍යතා මත නීති අණ පනත් සම්මත කරමින් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදු වන බවත්, නිදහස පමණට වඩා භුක්ති විඳින්න ගිය විට ද රටේ අවුල් ඇති වී රජය සහ ජනතාව අපහසුතාවට පත් විය හැකි බව අප තේරුම් ගත යුතුව ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී අනු නාහිමියෝ ඊයේ (21) පැවසූහ.

“නිදහස ජනතා සභාව” නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පේරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, හිටපු නාගරික මන්ත්‍රී ආනන්ද සනත් කුමාර ඊයේ (20) අස්ගිරි මහා විහාරයට ගිය අවස්ථාවේ අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත මඟින් උද්ගත විය හැකි තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම දැනුම්වත් කිරීම සඳහා මේ පිරිස එම විහාරස්ථානවලට ගොස් තිබේ.

පළමුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදැක කරුණු දැක්වීමෙන් පසු ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්හ. එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී, ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොඩගම මංගල යන නාහිමිවරුද සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි අනුනාහිමියෝ මේ ප්‍රතිත්‍රස්ත පනත මඟින් රටට අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව තුළත් ඉන් පරිබාහිරවත් කරුණු දක්වමින් ජනතාව දැනුම්වත් කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීම බව ද අවධාරණය කළහ. රටක ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා විය යුතු බවට තර්කයක් නැති බවත්, නිදහස පමණට වඩා භුක්ති විඳීමට යෑමෙන් ගැටලු ඇති වන්නේ නම් එතැන ප්‍රශ්නයක් තිබෙන බවත් උන් වහන්සේ කීහ.

ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ හිමි වන නිදහස අනිසි ලෙස භුක්ති විඳිමින් කටයුතු කරන්න යෑමෙන් විවිධ අවුල් නිර්මාණය වී රජය මෙන්ම ජනතාවද අසීරුතාවට පත් වන බවත් එවැනි අවස්ථාවල ඒවා පාලනය කිරීම සඳහා යම් යම් නීති අණ පනත් ගෙන එමින් කටයුතු කිරීමට රජයකට සිදු වන බවත් ධම්මදස්සී නාහිමියෝ ප්‍රකාශ කළහ. අද විපක්ෂය නියෝජනය කරන අය එදා ආණ්ඩු පක්ෂයේ සිටියදීද රටේ අවශ්‍යතාව මත විවිධ අණ පනත් ගෙනැවිත් තිබෙන බව ද උන් වහන්සේ මෙහිදී සිහිපත් කළහ.

කුමන හෝ පනතකින් ජනතාවගේ ජීවත් වීමේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට හානි වන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවත් ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් තව දුරටත් අධ්‍යයනය කිරීමෙන් පසු ඒ සම්බන්ධ ස්ථිර යමක් ප්‍රකාශ කිරීම සුදුසු බවත් අනුනාහිමියෝ පැවසූහ. මේ පනතේ අඩුපාඩු ඇත්නම් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ මූලික වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට බවත් මහා සංඝරත්නය පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නිසා කළ හැකි වන්නේ ඒ පිළිබඳ අදහස් දැක්වීමක් පමණක් බවත් උන් වහන්සේ ප්‍රකාශ කළහ.

ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් විශාල කතාබහක් නිර්මාණය වී තිබීම නිසා ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නයේද අදහස් විමසීමට පෙලඹී තිබුණත් ඇතැම් පනත් පාර්ලිමේන්තුවේ සම්මත වූයේ මහා සංඝරත්නයේ අදහස් විමසීමකින් තොරව යැයි ද ධම්මදස්සී නාහිමියෝ මෙහි දී වැඩිදුරටත් කීහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස