නිලධාරීන් කොවිඩ් මර්දන සටන ගව් ගාණක් ආපස්සට අදී…! තීන්දු ගන්න පදනම් කරගත් නිල වාර්තාවල දහස් ගණනින් වැරදි…!

August 12, 2021 at 8:12 am | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය විසින් නිකුත් කරන කොවිඩ් දත්ත සහ බිම්මට්ටමේ සැබෑ තත්ත්වය අතර විශාල පරස්පරයක් පවතින බව සාක්ෂි සහිතවම ඔප්පු වෙමින් තිබේ.

ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පෙරේදා අනාවරණය කර තිබුණේ එම දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් 7000කට වැඩි සංඛ්‍යාවක් නිසි අධීක්ෂණයක් නොමැතිව නිවෙස්වල සිටින බවකි.

පෙරේදා එම කමිටුව රැස්වූ එහි නිලධාරීන් අවස්ථාවේදී පෙන්වා දී තිබුණේ අගෝස්තු 01 වනදා සිට අගෝස්තු 09 වනදා දක්වා දින 09ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 12,555ක් හඳුනා ගෙන ඇති බවකි. එහෙත් එම කාලසීමාවට අදාළව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිකුත් කළ නිවේදනවල පෙන්වන්නේ ආසාදිතයින් 3629ක් පමණි.

මීට සමාන තත්ත්වයක් නැගෙනහිර පළාතේ ද පවතින බව එම පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අනාවරණය කර ඇති දත්ත අනුව තහවුරු වේ.

නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඊයේ (11) සඳහන් කර තිබුණේ ගතවූ පැය 24ක් තුළ එම පළාතෙන් කොවිඩ් රෝගීන් 837ක් හඳුනාගෙන ඇති බවයි. එහෙත් රජයේ නිල නිවේදන අනුව පෙරේදා දිනයෙහි නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් හඳුනාගෙන ඇත්තේ රෝගීන් 194 දෙනෙක් පමණි.

මෙවැනි වැරදි දත්ත මත පදනම්ව ගන්නා තීන්දු තීරණ ඔස්සේ කොවිඩ් පාලනය කළ නොහැකි බව විද්වතුන් පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *