නිදහස් අධ්‍යාපනය මෙන් ම අධ්‍යානයේ නිදහසත් ආරක්ෂා විය යුතුයි…! – මල්වතු අස්ගිරි පාර්ශ්ව..

July 23, 2021 at 10:51 am | by emanisa.lk

නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහසත් ආරක්ෂා විය යුතු බව මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි අනුනාහිමිවරු ප්‍රකාශ කරති. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හමුදාකරණයක් ලෙස විග්‍රහ කිරීම වැරදි බව ද උන් වහන්සේ පෙන්වා දුන්හ.

මල්වතු මහ විහාර පාර්ශ්වයේ අනුනාක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ මෙසේ පවසති.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කර කොමිෂන් සභාවේ පවතින ගුණාත්මක හා ස්වාධීන වටිනාකම් එයට ආරෝපණය කිරීම අර්ථවත් ක්‍රියාවක් බවත් නෛතික පසුබිමක් යටතේ නීතිරීති සම්මත කර එහි අභිවෘද්ධිය පිණිස ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ජාතික වැදගත්කමකින් යුතු බවත් උන්වහන්සේ කීහ.

ආණ්ඩුව ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් අනුනාහිමියෝ මෙසේද ප්‍රකාශ කළහ. අපි බොහෝ සෙයින් අහන දකින කාරණය තමයි රටේ නිදහස් අධ්‍යාපනය තහවුරු වී තිබිය යුතුයි කියන එක. නිදහස් අධ්‍යාපනයට මේ දක්වාම කිසිදු බාධාවක් ඇතිවී නැති බව අප අමතක නොකළ යුතුයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳ අපි එසේ කතා කළත් පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා යන ගමනේදී සිසුවකුට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා බොහෝ වියදම් කරන්න සිදුව තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට උසස් පෙළ විභාගය අවසන් කරන තෙක්ම අපේ සිසු දරු දැරියන් බොහෝ දෙනෙක් මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගන්නවා. ඒ වගේම මේ රටේ ජීවත් වන යම් හැකියාවක් ඇති පවුල්වල දරුවන් විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව විශාල ධනස්කන්ධයක් වැය කර උපාධි ලබා ගන්නවා. ඒ නිසා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයටත් ඇතුළත් වෙලා වටිනා අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකිවීම වරදක් ලෙස නොදැකිය යුතුයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධව බොහෝ සෙයින් කතා කරනවා. එහි ආචාර්ය මහාචාර්යවරු වගේම පුහුණුව ලබන සිසු දරුවන් විශිෂ්ට ලෙස කටයුතු කරන බවට ප්‍රායෝගික අත්දැකීම් මටත් තිබෙනවා. කොවිඩ් වසංගතය තුළ ඒ දරුවන්ට පැවරී තිබෙන වගකීම අපේ රටේ අනෙකුත් වෛද්‍යවරු හා සෞඛ්‍ය සේවකයන් සමඟ එකතු වෙලා ඉතා ආදර්ශවත්ව කරන බව සඳහන් කරන්න ඕන. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීතිරීති ඉතා ශක්තිමත් මෙන්ම ඉතා වැදගත්. ඒවා උල්ලංඝනය කරන්න කිසිවකුටත් පුළුවන්කමක් නැහැ. පෞද්ගලිකව අපි කල්පනා කළොත් අපට අත්දැකීම් තිබෙනවා කොළඹ, මහනුවර, ගම්පහ ආදි නගරවල විද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට තමන් අපේක්ෂා කරන උසස් අධ්‍යාපනය ලබා ගැනීමට යෑමේදී බොහෝ අවහිරතා ඇතිව තිබෙන බව. දැනටමත් කොතලාවල වෛද්‍ය පීඨය තුළ මහනුවර ප්‍රධාන පෙළේ පාසල්වලින් ඉගෙනුම ලැබ උසස් ප්‍රතිඵල ලැබූ දරුවන් කිහිපදෙනකුම අධ්‍යාපනය ලබනවා. ඔවුන් වසරකින් පමණ උපාධිය සම්පූර්ණ කිරීමට නියමිතයි. මේ විශ්වවිද්‍යාලයේ පවතින සුවිශේෂත්වය හමුදාකරණයක් ලෙස විග්‍රහ කරන එක වැරදි කාරණයක්. ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ පවතින මූලික නීතිරීති, ශික්ෂණය, විනය සෑම අංශයකටම ලබා දෙමින් ඉතා අර්ථවත් පිරිසක් රටට බිහි කරන්නට පුළුවන්කම ලැබේවි.

ලෝකයේ දියුණුම රටවල මෙන්ම අපට සමීප ඉන්දියාව, බංගලාදේශය, නේපාලය වැනි රටවලද නොමිලේ අධ්‍යාපනය හා සමානව මුදලට අධ්‍යාපනය දීමේ ක්‍රමවේද ක්‍රියාත්මක බවත් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට විරුද්ධ ඇතැම් අයගේ දරුවන්ද අධ්‍යාපනය ලබන්නේ විදේශ රටවල විශ්ව විද්‍යාලයන්හි බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

ඒ අය නියමිත කාලයට අධ්‍යාපන කටයුතු නිම කර උපාධි ගනිද්දී අපේ රටේ නිදහස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ප්‍රජාව අධ්‍යාපනය ලැබීමට ඇති වටිනා කාලය දේශපාලන ක්‍රියාකාරකම්වලට යෙදවීමෙන් නියමිත කාල සීමාවේදී අධ්‍යාපනය නිම කර ගැනීමට නොහැකිව අවුරුදු ගණනාවක් බලා සිටින බවද උන්වහන්සේ කීහ.

ආණ්ඩු බලය අහිමිවී විපක්ෂයට වැටුණු පසු ඔවුන් කරන්නේ පවතින ආණ්ඩුව රටේ යහපත සඳහා මොනතරම් හොඳ සැලසුම් හැදුවත් ඊට විරුද්ධ වීම මෙරට දේශපාලනයේ ස්වභාවය බවත් ජනතාව මේ යාථාර්ථය තේරුම් ගත යුතුව තිබෙන බවත් අනුනාහිමියෝ පැවසූහ.

රටේ යහපතත් අනාගත පරපුරේ අභිවෘද්ධියත් වෙනුවෙන් පවතින තත්ත්වය වෙනස් කර දියුණු රටක් ගොඩනඟන්නට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් වීම අප කාගේත් යුතුකම යැයිද උන්වහන්සේ කීහ.

රටේ සියලු දෙනා හොඳින් ඇස් ඇර බැලිය යුතු කාලයක් දැන් උදාවී තිබෙන බවත් පවතින සෞඛ්‍ය අභියෝග ජය ගෙන ජීවිත ආරක්ෂා කර ගැනීම සියලු පුරවැසියන්ගේ වගකීම බවත් උපාලි නාහිමියෝ අවධාරණය කළහ.

අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශ කරමින් අනුනාමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ. පක්ෂ විපක්ෂ සියලු දේශපාලන නායකයෝ රට යහපත් තැනකට ගැනීමට උනන්දු විය යුතුයි. අවස්ථාවාදි දේශපාලන ක්‍රමය නිසා මුළු රටම අපහසුතාවට පත් වෙනවා. මේ දිනවල රටේ විශේෂ අවධානයට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත යොමුව තිබෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස