නැඳුන්ගමුවේ ඇතා දළදා මාළිගාවේ තැබීම වැරදියි…! මෙහෙම ගියොත් මාළිගාව ඇත් සොහොනක් වෙයි…! – වතුරකුඹුරේ ධම්මරතන හිමි…

September 15, 2022 at 11:42 am | by emanisa.lk

දළදා මාලිගය අවට සතුන්ගේ සිරුරු මහජන ප්‍රදර්ශනයට තැන්පත් කිරීම ගැන තමන් වහන්සේ විරුද්ධ බවත් එසේ කිරීම ඉතා නරක පූර්වාදර්ශයක් බවත් නෙල්ලිගල හා කූරගල උභය විහාරාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පැවසූහ.

මේ පූර්වාදර්ශය දීමෙන් තවත් වසර සියයක් යන විට අනාගත පරම්පරාවට දළදා මාලිගය වෙනුවට ඇත් සොහොන් බිමක් බලන්නට සිදුවන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ නැදුන්ගමුවේ රාජා ඇතුගේ සිරුර දළදා මාලිගය පරිශ්‍රයේ ස්ථාපනය කොට මහජන ප්‍රදර්ශනයට තැබීමේ යෝජනාව පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

එහි දී තව දුරටත් අදහස් දැක්වූ ධම්මරතන හිමියෝ, අවශ්‍ය නම් එම සිරුර මහජන ප්‍රදර්ශනය සඳහා කූරගල හෝ නෙල්ලිගල බෞද්ධ සිද්ධස්ථාන දෙකෙන් එකක ස්ථානයක් සකස් කර දිය හැකි බව ද කීය.

“ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරයි රාජා ඇතාගේ සිරුර පමණ ද දළදා මාලිගා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා. අප සොයා ගත් කරුණුවලට අනුව නැදුන්ගමුව රාජා වසර 11ක් පමණ තමයි, දළදා පෙරහරට සම්බන්ධ වෙලා තියෙන්නේ.

දළදා මාලිගාවේ ඇත් පන්තියේ රාජා ඇතු වසර 50කට අධික කාලයක් පෙරහරට සහභාගිව කරඬුව වැඩම කරලා තියෙනවා. නැදුන්ගමුවේ රාජා කියන්නේ දළදා මාලිගාවේ ඇත් පන්තියේ සතෙක් නෙවෙයි. පෞද්ගලික හිමිකරුවෙකුගේ සතෙක්. අපි මේ පැවැත්වූයේ 1712 වන දළදා පෙරහරයි.

ඉතින් කල්පනා කරලා බලන්න මෙහෙම මරණයට පත්වන සියලු ම ඇතුන්ගේ සිරුරු දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කරන්න ගියොත් තව වසර 100ක් පමණ ගිය පසු අනාගත පරම්පරාවට බලන්න වෙන්නේ දළදා මාලිගාව නෙවෙයි ඇත් සොහොන් බිමක්.

ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතු වහන්සේ වැඩ සිටින ලෝක වාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ දෙව්, මිනිසුන් වඳින මහ පුද බිම මිය ගිය සතුන් ප්‍රදර්ශනය කරන ස්ථානයක් කිරීමට ඉඩ නොදිය යුතුයි.

මම මෙතැනදී විශේෂ යෝජනාවක් කරනවා මේ වගේ රටට සම්පතක් වූ විශේෂිත අලි ඇතුන් මරණයට පත් වූ පසු ඔවුන්ගේ සිරුරු සකස් කොට මහ ජනතාවට නරඹන්න, ගෞරව කරන්න වෙනත් සුවිශේෂී ස්ථානයක් ස්ථාපනය කළ යුතුයි.

එවිට මහ ජනතාවට එම ස්ථානයට පැමිණ ඇත් දේහ නැරඹිය හැකියි. එවන් ස්ථානයක් සැකසීම සඳහා අපටත් සහය ලබාදිය හැකියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *