නව ව්‍යවස්ථාව හඳුන්වා දී ගෙදර ගියත් ජයග්‍රහණයක්! – ස්වාධීන කතානායක

February 1, 2019 at 5:22 am | by admin

වර්තමාන පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී පාර්ලිමේන්තුවන් පිට වී යෑමට හැකිනම් එය අපි ලබන ජයග්‍රහණයක් බවද එසේ නැතිව මෙම ප්‍රශ්නය ඊළඟ පරම්පරාවට පවරාදීම පවක් බවද කථානායක කරු ජයසූරිය මහතා ගාල්ලේදී පැවැසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ආදි කර්තෘ අනුස්මරණ සංවත්සර උත්සවය අමතමින් කථානායකවරයා මේ බව කීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද පිරිවෙන් මහා විහාරයේ උත්සවය පැවැත්විණි. කථානායකවරයා මෙසේ ද කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවිධ අය කතා කරනවා. ව්‍යවස්ථාදායකයට තවම ව්‍යවස්ථාවක් ඉදිරිපත් වෙලා නැහැ. යෝජනා ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාවේ විවිධ මති මතාන්තර ඉදිරිපත් වෙනවා. ඒවා හොඳ වෙන්නත් පුළුවන්. නරක වෙන්නත් පුළුවන්. මේ පිළිබඳව අනෙකුත් නායක හිමිවරුන්ගේ ප්‍රකාශ අපට ලැබුණා. උන්වහන්සේලා සියලු දෙනාම ඉල්ලීම් කළේ පාර්ලිමේන්තුවේ මූලිකත්වයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලුම පක්ෂ නායකයන් කැඳවලා මේ සම්බන්ධයෙන් දවසක දෙකක විවරණයක් කර මේකට පක්ෂ අදහස්, විපක්ෂ අදහස්, ඒ වගේම දමිළ පක්ෂවල අදහස් මේ ගැන කතා කරලා මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගත යුතුයි.

දැන් මේ පිළිබඳව ස්වාමීන් වහන්සේලාත් දෙපාර්ශ්වයකට බෙදිලා අපහාස කරන විට අපටත් යම්කිසි වේදනාවක් තියෙනවා. ඒක අනවශ්‍ය දෙයක්. ඒ නිසා මේ සම්බන්ධයෙනුත් ඔබ වහන්සේලාගේ අවධානය මම යොමු කරනවා. වර්තමානයේ රටේ ඉන්න දේශපාලන නායකයන්ගෙන් මම ගෞරවනීය ඉල්ලීමක් කරනවා, ආයාචනයක් කරනවා මේක රටේ තිබෙන දැවෙන ප්‍රශ්නයක්. ලෝකයේ පිටරට ඉන්න කොටස් මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා රටේ දැනට තිබෙන දැවෙන ප්‍රශ්න ව්‍යවස්ථාව වැනි අනෙකුත් දේවල් අපි වර්තමාන පාර්ලිමේන්තුව තුළ අපේ කාලේ විසඳලා දීලා අපිට ලබන අවුරුද්දේ පාර්ලිමේන්තුවෙන් පිට වෙන්න පුළුවන්නම් එය අපි ලබන ජයග්‍රහණයක්. අපි ඊළඟ පාර්ලිමේන්තුවට භාර දෙන්නේ නැතිව මෙම ප්‍රශ්නය විස¼දාගත යුතුයි. ඊළඟ පරම්පරාවට මෙය භාරදීම පවක් කියලා මම හිතනවා.

ජේ‍යෂ්ඨ නායකයෝ අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයගේ යුතුකම මෙය ඉටු කිරීමයි. සමහර අය මේක කල්දාගන්න හදනවාට අපිට වගකීමක් තිබෙනවා මේ සම්බන්ධයෙන් දේශපාලන හේතු මත එසේ කල්දාන්නේ නැතුව එක්කෝ මේක පිළිගන්න නැත්නම් විසුරුවා දාන්න. අවසාන තීරණයක් හොඳට අධ්‍යයනය කරලා බලලා පරීක්‍ෂාකර බලලා, අනෙකුත් මතවලට කන්දීලා අවසන් තීරණයක් ගන්න කියලා කියන එක මගේ ගෞරවනීය ඉල්ලීමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස