වර්තමාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ එළඹෙන ජනවාරි 29 වන දා විශ්‍රාම යාමට නියමිත අතර ඊළඟට සිටින ජ්‍යේෂ්ඨතමයා වෙනුවට වෙනත් නිලධාරියකු ගුවන් හමුදාපති ධුරයට පත්කිරීමේ සැලසුමක් ඇති බව වාර්තා පළ වෙයි.
නව ගුවන් හමුදාපති ධුරය සඳහා ජ්‍යේෂ්ඨත්වය අනුව ඉහළම සුදුසුකම් සපිරූ නිලධාරියා වත්මන් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න බව එම වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වුව ද ජ්‍යේෂ්ඨත්වය අනුව තෙවන ස්ථානයේ සිටින වාසු බන්දු එදිරිසිංහ 20 වන ගුවන් හමුදාපති ධුරයට පත්කිරීමට අදාළ නිර්දේශය ජනාධිපතිවරයා වෙත මේ වන විටත් යොමු කර ඇතැයි සඳහන්ය. ඔහු එම තනතුර සඳහා නිර්දේශ කිරීමට එකම හේතුව වර්තමාන ආරක්ෂක ප්‍රධානියෙකු ඔහුගේ සමීපතම මිතුරෙකු වීම පමණක් බවට චෝදනා නැගෙයි.
පෙර පැවති ආණ්ඩු මෙන් ඥාති හිතවත්කම් මත නොව සුදුසුකම් අනුව පමණක් තනතුරු ලබා දෙන බවට නව රජයේ ප්‍රධානීන් දිගින් දිගටම ප්‍රකාශ කළ ද කතානායකවරයා පත්කිරීමේ සිට එය වචනයට පමණක් සීමා වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
එම තත්ත්වය ආණ්ඩුවේ ජනප්‍රියත්වය කෙරෙහි අහිතකර බලපෑම් කළ හැකි බවත් ජනාධිපතිවරයාට නිවැරදි තොරතුරු ලබා නොදීම ඊට මූලික හේතුව බවත් දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.