ප්‍රමිතියෙන් තොර බව කියන ඉන්දියානු ඖෂධ, මෙරට ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පරීක්ෂණ ක්‍රම මගහරිමින් භාවිත කර රෝගීන්ට හානියක් වුවහොත් එහි වගකීම සෞඛ්‍ය ඇමැති ඇතුළු බලධාරීන් භාරගත යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ ද මේ ආකාරයෙන්ම ගෙන්වන ලද ඖෂධ නිසා මෙරට රෝගීන් මිය යන විට ඔවුන් පර්යේෂණාගාර මීයන් හා ඌරන් බවට පත් කරන බවට චෝදනා කළ වත්මන් රජයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින්ම නැවත එවැනි ක්‍රියාවන් කරමින් සිටින බව එම සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි.
ඖෂධ නියාමන අධිකාරියේ හා රටේ පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම උල්ලංඝනය කරමින් කැබිනට් පත්‍රිකා හරහා ඉන්දියාවෙන් ඖෂධ 300කට ආසන්න ප්‍රමාණයක් හදිසියේ ගෙන්වීමට හැකියාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.
දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ඖෂධ නියාමන අධිකාරියට මීට පෙර ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩු පවතින බැවින්, එම තත්ත්වය නොසලකා කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය ක්‍රියා කළහොත් සමස්ත කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවීමේ හැකියාව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.