දේවගැති ජෙරම්ගේ මුග්ධ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා…! – සජිත්…

May 19, 2023 at 8:21 am | by emanisa.lk

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිබඳව බලවත් පිළිකුල සහ අප්‍රසාදය පළ කරන අතර එම ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන සහ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවෙන ප්‍රායෝගික බෞද්ධයකු ලෙස මේ දේව ගැතිවරයාගේ මුග්ධ ප්‍රකාශය පිළිබඳව අතිශයින්ම කනගාටු වෙමි.

අන් කවරදාටත් වඩා සංහිඳියාව, සහෝදරත්වය සහ මානව බැඳීම ශක්තිමත්ව ගොඩනගා ගතයුතු වකවානුවක අප ජීවත් වන අතර මෙවැනි වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් ද, වෛරයේ සහ කෝපයේ දුර්ගුණ ද ඇති වීමේ බරපතළ අවදානමක් පවතී.

මේ රට චිරාත් කාලයක් මුළුල්ලේ නිර්මල බුදු දහමෙන් පෝෂණය වී ඇති අතර බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුළු විශ්වයටම පොදු වූ දහමකි. එය වෛරය වෙනුවට අවෛරයත්, අවිචාරය වෙනුවට විචාරයත්, සියලු සත්වයා කෙරෙහි මහා කරුණාවත් ලොවට කියා දුන් ධර්මයකි.

සෙසු සියලු ආගම්වලට ගරු කිරීම මෙන්ම එම ආගම් ඇදහීමට නිදහස් අවකාශයක් ලබාදීමට බුදු දහමෙහි පවත්නා සහනශීලී ප්‍රතිපදාව හේතු වී ඇති බව අවධාරණය කළ යුතුය.

එකී සහනශීලී ප්‍රතිපදාව අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගනිමින් විවිධ පුද්ගලයින්ට සහ විවිධ කල්ලවලට බුදු දහම ඉලක්කකොට දුර්මත සහ අවිචාරවත් ප්‍රකාශ නිකුත් කිරීමට කිසිදු අයිතියක් නැත.

එවන් අන්තනෝමතික ප්‍රකාශයක් සිදුකළ ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයාට රටින් පිටවීම වළක්වන වාරණ නියෝගයක් පනවා තිබියදීත් ඔහු රටින් පිටමං වූයේ කාගේ සහයෝගයෙන් දැයි රටට හෙලිදරව් කළ යුතු අතර රටේ ජාතීන් අතර සහ ආගම් අතර සංහිඳියාවට වැට බැඳීමට කටයුතු කරන මෙවැනි සාහසිකයින් සමාජය තුළ හෙළිදරව් කළ යුතුය

ඒ පිළිබඳව අප මෙන්ම මුළුමහත් රටම දැඩි අවධානයකින් පසුවන බව සිහිපත් කළ යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස