ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ දේපළ බදු පැනවූයේ නම් මෙරට සිටින ඉහළම ආදායම් උපයන පිරිස් ඔවුන් සතු අතිරික්තධනය රැස් කර දේපළ මිලදී ගැනීම, මන්දිර තැනීම වැනි කටයුතු අඩපණ වෙන බවත් එම මුදල් ආයෝජනවලට හරවා ගැනීමේ හැකියාව පවතින බවත් ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ ආදායම් ලබන්නන්ගෙන් ඉහළම ආදායම් ලබන සියයට 20 ක පිරිස රටේ සමස්ත ආදායමෙන් සියයට 21.3 ක් හිමි කර ගෙන සිටින අතර ඔවුන්ගේ දේපළ නිසි අයුරින් තක්සේරු කර ඒ මත බදු අය කිරීම ශ්‍රී ලංකාව දිගින් දිගටම මග හැර ඇති බවය.
2023 මාර්තුවලදී අයි. එම්.එෆ්. ආයතනය ඉදිරිපත් කළ වාර්තාවට අනුව දේපළ බද්දෙන් 2025 වසරේ දී පමණක් රුපියල් බිලියන 436 ක මුදලක් ඉපැයීමට අපේක්ෂා කළ බවත් එය එම වසරේ මුළු බදු ආදායමෙන් සියයට 8ක් බවත් කී මහාචාර්යවරයා අදාළ වාර්තාවට අනුව දේපළ බදුවලින් 2026 දී රුපියල් බිලියන 472 ක් ද 2027 රුපියල් බිලියන 512 ක් ද 2028 දී රුපියල් බිලියන 554 ක් ද ඉපැයීමට අපේක්ෂා කර තිබූ බව පැවසීය.
එසේ වුවද 2023 දෙසැම්බර් අයි. එම්.එෆ්. ඉදිරිපත් කළ වාර්තාවට අනුව දේපළ බද්දෙන් ඉපැයීමට අපේක්ෂිත ආදායම් වල සුළු අඩු වීමක් පෙන්නුම් කළ බව ද හෙතෙම හෙළි කළේ ය. ඒ අනුව 2025 දී රුපියල් බිලියන 411ක් ද 2026 දී රුපියල් බිලියන 447ක්ද 2027 දී රුපියල් බිලියන 485ක් ද 2028 දී රුපියල් බිලියන 526 ක් ද වශයෙන් එයින් ඉපැයිය හැකි යැයි පුරෝකතනය කර තිබුණු බව ද ඔහු කීවේය.
2024 ජුනි තෙවැනි සමාලෝචනයේදී මේ දේපළ බදු ඉවත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේ ඉහළ ධනවතුන්ගේ දේපළවල වටිනාකම තක්සේරු කිරීමේදී දුෂ්කරතා මතු වෙන බවට රජය එම ආයතනයට දැනුම් දුන් නිසා බව කී මහාචාර්යවරයා එසේ වුව ද මෙම බදු පැනවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේ ය. එසේ නොකළ හොත් වක්‍ර බදු අනුපාතය තවත් ඉහළ ගොස් දුප්පත් ජනතාව මත අධික බදු බරක් පතිත වෙන බවට ද ඔහු අනතුරු ඇඟවූයේ ය.
ලෝකයේ වෙනත් රටවල ද දේපළ බදු ක්‍රියාත්මක වන බව කී ඔහු ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.05 ක් දේපළ බදුවලින් ජනනය වන බවද ප්‍රංශයේ එම අගය සියයට 3.8 ක් බව ද ඇමෙරිකාවේ සියයට 2.9 ක් බව ද නවසීලන්තයේ සියයට 1.9 ක් බව ද ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වැනි තවත් රටවල් ගණනාවක මේ බදු ක්‍රියාත්මක වන බව ද කීවේය.
ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිතමහාචාර්ය සිරිමල් අබේරත්න සඳහන් කළේ ධනවතුන් රැස් කරන අතිරික්තධනය වියදම් කළ යුතු බැවින් බැංකු පද්ධතිය මගහැර එම මුදල් යොදවමින් විවිධ දේපළ එක් රැස් කර ගැනීම වැඩි වී ඇති බවත් එයින් විශාල ධනස්කන්ධයක් ආර්ථිකයට අහිමි වෙන බවත්ය.
දේපළ බද්දක් පැවතීමෙන් එම අතිරික්ත ධනය ආයෝජන ඔස්සේ ආර්ථික වර්ධනයට යොදා ගතහැකි බව ඔහු කීවේය. දේපළ බද්දක් පැවතීමෙන් අනීතිකව උපයන මුදල් වැය කොට දේපළ අත්පත් කර ගැනීම පාලනය කළ හැකි බවද ඔවුහු පවසති.
– උපුල් වික්‍රමසිංහ