මහා මැතිවරණයට වැඩියෙන්ම උදව් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී විවිධ හේතු නිසා සිය පක්ෂයට ඡන්දය නොදුන් ජනතාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂා කළේ තාත්තාගෙන් පුතාට බලය. ආණ්ඩුව හසුරවපු ජනාධිපතිවරයා අපේක්ෂා කළෙත්, මාමගෙන් බෑණට බලය. හැබැයි මේ රටේ ජනතාව සැප්තැම්බර් මාසේ 21 වනදා ඒ සියලු දූෂිත විනාශකාරී පවුල් පරදවලා පොදු ජනතාවගේ අතට බලය මාරු කරලා තියෙනවා.
ඒ දූෂිත ප්‍රභූ සංස්ථා කවදාවත් හිතුවේ නෑ තමන්ට තමන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමක් අත්වෙයි කියලා. මතක තියාගන්න ආයේ බලය ඒ අයගේ අතට මාරුවෙන්නෙ නෑ කියලා.
ජනාධිපතිවරණයේ දී අපිට ඡන්දය නොදුන් පිරිසක් හිටියා. සමහර අයට පොඩි සැකයක් තිබුණා. අවිශ්වාසයක් තිබුණා. දෙගිඩියාවක් තිබුණා. ඒත් දැන්… අපිට සහෝදරවරු කියන්නේ… එදා අපිට ඡන්දය නොදුන් ජනතාව තමයි, දැන් ඡන්ද වැඩ කරනකොට වැඩියෙන්ම උදව් කරන්නේ.”
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල පැවති ජන රැලියකදීය.