දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට ලක්වූවන්ට සහන ගෙවීම් රාජකාරි කටයුතුවලින් ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන්, තාක්ෂණ නිලධාරීන් අද (27) සිට ඉවත් වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර සඳහන් කරයි.
මෙම සහන කටයුතු සඳහා රජයේ සේවකයන් 16,000ක් සහභාගී වූ බවත් එම තීන්දුව සමග අදාළ රාජකාරි සම්පූර්ණයෙන්ම නතර වන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමයේ ලේකම් නෙවිල් විජේරත්න ප්‍රකාශ කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරි සංගමය, සමස්ත ලංකා මධ්‍යම රජයේ තාක්ෂණික සංගමය සහ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය යන සංගම් ඒකාබද්ධවය මගිනි.
සංගම් චෝදනා කරන්නේ නිසි මූල්‍ය විනයක් සහිත චක්‍රලේඛ නිකුත් නොවීම, උපදෙස් පරස්පර වීම, කෙටි කාලයකින් නිතර සංශෝධන, සාකච්ඡා මගින් එකඟ වූ කරුණු ක්‍රියාත්මක නොකිරීම, දීමනා හා ඉන්ධන පහසුකම් නොලැබීම, ආරක්ෂක උපකරණ නොදීම යනාදී ගැටලු හේතුවෙන් නිලධාරීන් දැඩි පීඩනයකට පත්ව ඇති බව ද සාමූහිකව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
ආපදාවට ලක් වූවන්ට රුපියල් ලක්ෂ පහේ වන්දි ගෙවීමට තම සංගමය අකැමැති නොවන බවත් එම වන්දි මුදල් ලබා දීමේදී ග්‍රාම නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් රජය මගින් අවදානමකට පත්කර ඇති බවත් ඔහු කීවේය. දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයට මේ වන විට දින 93කට අධික කාලයක් ගත වී තිබේ.