දිට්වා සුළි කුණාටුවෙන් සිය නිවස පූර්ණ හානියට ලක්වූ බවට කුඹුරක ඇති පැලක් නැතහොත් වාඩියක් පෙන්වා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත්කර රුපියල් මිලියන පහක වන්දියක් ලබා ගෙන ඇති බවට පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී තිබේ.
අනුරාධපුර රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සංගිල් කන්දරාව – මැදවච්චිය ප්‍රදේශයේ චන්ද්‍රාවතිගේ රන්ජන් ප්‍රියලාල් අමරසිංහ යන පුද්ගලයාට මෙම මුදල් නිකුත් කර තිබේ.
කුඹුරක් මැද ඇති අදාළ පැල්පතෙහි කිසිවෙකුට පදිංචි වී සිටීමට කිසිදු පහසුකමක් නොමැති බවත් පෙර නම් සඳහන් පුද්ගලයාගේ නම ඡන්දහිමි නාම ලේඛනයේ ඇත්තේ එම ලිපිනය නොවන බවත් මෙම පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.
මෙම කුඹුරු යායෙහි හිමිකරු සහ එය වර්ග කර ඇත්තේ ගොඩ හෝ මඩ හෝ කවර වර්ගයටද යන්න සොයා බැලිය යුතු බවද එහි දැක්වෙයි. එසේම මෙලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසා ලබාගත් මුදල් නිලධාරීන් සහ දේශපාලකයන් අතට යන්නේදැයි සොයා බැලිය යුතු බවද එම ලිපිය මගින් ප්‍රකාශ කරයි.
මොහු දේශපාලන හිතවත්කම් භාවිත කර රාජ්‍ය නිලධාරින් සමඟ එක්ව මෙම වංචාව සිදුකර ඇති බවට පැමිණිලිකරු එහි වැඩි දුරටත් සඳහන් කර ඇත.