දිට්වා ආපදාව සිදු වී මාස 03කට ආසන්න වුවත් මියගිය 676ක පිරිස අතරින් වන්දි ලබා දී අවසන් කර ඇත්තේ 323කට පමණක් බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
එසේ වන්දි ලැබී ඇත්තේ, ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ 668ක් අතරෙන් 323 දෙනෙකුට වන අතර ඒ අනුව තවත් 345 දෙනෙකුට ජීවිත හානි වෙනුවෙන් වන්දි ගෙවීමට නියමිත ය.
එම පිරිසෙන් 221 දෙනෙකුට අත්තිකාරම් පමණක් ගෙවා ඇතැයි එම මධ්‍යස්ථානය කියයි. ජීවිත හානි වන්දි සහ අත්තිකාරම් ලෙසින් ගෙවා ඇති සමස්ත මුදල රුපියල් මිලියන 35,455කි.
තව ද, පූර්ණ නිවාස හානි සඳහා ගෙවීම් කිරීමට ඇති ප්‍රතිලාභීන් 6,079ක් සිටින බවත් එයින් ගෙවීම් කර ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 210ක් බවත් දැක්වේ.
මේ අතර අර්ධ නිවාස හානි සඳහා වන්දි ලබාදීමේදී ගෙවීම් කිරීමට නියමිත 118,838ක් වූ ප්‍රතිලාභීන්ගෙන් එම ගෙවීම් කර ඇත්තේ 3,095කට බව ප්‍රගති වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර නිවාස පිරිසුදු කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක දීමනාවේදී සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් 434,058කගෙන් ගෙවා අවසන් කර ඇත්තේ 98.37% කට පමණ එනම් 426,963ක ප්‍රතිලාභීන් සංඛ්‍යාවකට වේ. නිවාස පිරිසුදු කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහස තවදුරටත් ගෙවීමට 7,095ක් වූ සංඛ්‍යාවක් සිටි බව එම වාර්තාව කියයි.
මේ අතර නිවාස යථාවත් කිරීම සඳහා රුපියල් පනස්දහසේ දීමනාව ගෙවීමේදී ඊට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් 172,665ක් බවත් ගෙවා අවසන් කර ඇත්තේ එයින් 144,377කට බවත් ආපදා සහන සේවා ලබාදීමේ කටයුතු සම්බන්ධ ප්‍රගති වාර්තාව කියයි.
නිවාස යථාවත් කිරීම සඳහා රුපියල් පනස් දහසක දීමනාව තවදුරටත් ගෙවීමට ඇති ප්‍රතිලාභීන් 28,288ක් සිටින බව එම එහි දැක්වේ. එහිදී රුපියල් මිලියන 721,885ක් එනම් නිවාස යථාවත් කිරීම සඳහා සුදුසුකම් ලැබූවන්ගෙන් 83.63%කට ගෙවා ඇත.
තවද පාසල් ළමයින් සඳහා රුපියල් පහළොස් දහසක දීමනාවට සුදුසුකම් ලැබූවන් 211,398කින් 159,271කට ලැබී ඇත. එම පාසල් ළමයින් සඳහා රුපියල් පහළොස් දහසේ දීමනාව 52,127ක ළමයින් පිරිසකට ගෙවීමට ඉතිරිව ඇත.
ජීවනෝපාය අහිමි වීමේ දීමනාව ගෙවීමේදී ඊට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් 1,257ක් සිටියද එම කාලයේදී ගෙවා අවසන් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 180ක් බව ආපදා සහන සේවා ලබාදීමේ කටයුතු සම්බන්ධ ප්‍රගති වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.