තමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය විසින් වරෙන්තු නිකුත් කොට ඇති බවට 2024.09.06 වැනිදා ජනහමුවකදී කළ සාවද්‍ය ප්‍රකාශය මගින් නීතිඥ දයාසිරි ජයසේකර මහතා නීතිඥ වෘත්තියේ ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පවසයි.
එහෙයින් දයාසිරි ජයසේකරට එරෙහිව සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් යොමු කරමින් වසන්ත සමරසිංහ ඉල්ලා තිබේ.
ඔහු කළ එම සාවද්‍ය ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතාගේ යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කර ඇති බවත් මේ වන විට එය 30,000කට අධික පිරිසක් නරඹා ඇති බවත් හෙතෙම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට පෙන්වා දී තිබේ.
තමා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවට නීතිඥ දයාසිරි ජයසේකර මහතා කළ අසත්‍ය ප්‍රකාශය අධිකරණ ක්‍රියා පටිපාටිය අනුව සාවද්‍ය ප්‍රකාශයක් බවත් එමගින් ඔහු අධිකරණයට අපහාස කිරීමක්ද සිදුකර ඇති බවත් ඔහු එමගින් පෙන්වා දී තිබේ.
නීතිඥ දයාසිරි ජයසේකර මහතා සහය පළ කරන ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු මෙම සාවද්‍ය ප්‍රකාශය සමාජගත කර ඇති බවත්, ඔහු එම ප්‍රකාශය සිදුකර ඇත්තේ චේතනාන්විතව තමා සමාජය ඉදිරියේ අපහසුතාවයට, අවමානයට, අපවාදයට සහ අපකීර්තියට පත්කිරීමේ අරමුණින් බවත් වසන්ත සමරසිංහ මහතා එමඟින් පෙන්වා දී තිබේ. එය තමාගේ කීර්තියට පමණක් නොව සිය ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බවද වැඩිදුරටත් පෙන්වා දී තිබේ.