ලෝක වෙළඳපොළේ තෙල් මිල උච්චාවචනය වීම්වලට සාපේක්ෂව මෙතෙක් ක්‍රියාත්මක වූ මාසික ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදය වෙනුවට මසකට කිහිප වතාවක් මිල වෙනස් කළ හැකි නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම නව ක්‍රමවේදය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමිව ඇති බවයි.
මේ අනුව ලෝක වෙළඳපොළේ මිල ගණන් නිරන්තර අධීක්ෂණයට ලක් කෙරෙන අතර අවශ්‍යතාව අනුව සතිපතා මිල සංශෝධනය කිරීමට ඉඩකඩ පවතී.
ලෝක වෙළඳපොළේ මිල ගණන් සතියක් ඇතුළත අඩු වුවහොත් එහි වාසිය මාසයක් අවසන් වන තෙක් බලා නොසිට වහාම පාරිභෝගිකයාට ලබා දීමට මෙමඟින් අපේක්ෂා කරන අතර මිල ඉහළ යන අවස්ථාවලදී දේශීය මිල ගණන් ද ඊට සාපේක්ෂව ඉහළ දැමීමට සිදු වනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 700ක ණය වාරිකය නිදහස් කර ගැනීම සඳහා පිරිවැය ආවරණය වන පරිදි ඉන්ධන සහ විදුලි මිල නියම කිරීම ප්‍රධාන කොන්දේසියක් වී තිබේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සහන කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මීළඟ මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයකට රුපියල් 100ක උපරිම සහනයක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක උපරිම සහනයක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.
මීට අමතරව විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් සහ ධීවර ප්‍රජාව සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 100ක මුදලක් දැනටමත් වෙන් කර ඇත.
මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය හමුවේ ලෝක තෙල් වෙළඳපොළේ මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව පෙනෙන්නට තිබේ.
විශේෂයෙන්ම ඇමරිකාව සහ ඉරානය අතර පකිස්ථානයේදී පැවැත්වෙන සාකච්ඡා පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 සීමාව පසුකරමින් පවතින අතර එය ඩොලර් 100 සීමාව දක්වා තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය තව දුරටත් සීමා වී පැවතීම ද ලෝක වෙළඳපොළේ තෙල් මිල පාලනයකින් තොරව ඉහළ යාමට තීරණාත්මක ලෙස බලපා තිබේ.
මූලාශ්‍රය – Sunday Times