නොහැකියාවෙන් පෙළෙන වත්මන් ආණ්ඩුව, ඇත්ත හෙළිදරව් වීමේ බිය, නොහැකියාවේ බිය සහ අන් අයගේ හැකියාව පිළිබඳ බිය යන තුංබියෙන් පෙළෙමින් හැකියාව දක්ෂතාව ඇති මිනිස්නු දඩයම් කරමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
රජය බලයට පත්වීමට පෙර කළ ප්‍රකාශ සහ වර්තමාන ක්‍රියාකලාපය අතර ඇති පරස්පරතාව හේතුවෙන් ඔවුන් දැඩි ලැජ්ජාවකට පත්ව ඇති බව හිටපු ඇමතිවරයා සඳහන් කරයි. 2025 ජනවාරි මස අගභාගයේදී මතුවූ කන්ටේනර් 323ක ගැටලුව සහ ඉන් දෙකක තිබී හමු වූ ‘අයිස්’ මත්ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණවලට සිදුවූ දෙයක් නැති බවත්, ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශ වාර්තාව මෙතෙක් පිළිගෙන නැති බවත් ඔහු අනාවරණය කරයි.
2025 පෙබරවාරි 9 වනදා පානදුර විදුලි උපපොළට වඳුරෙකු පැනීමෙන් විදුලිය බිඳ වැටුණු බව පැවසුවද, සත්‍ය වශයෙන්ම සිදුවූයේ වික්ටෝරියා ජලාශයේ විදුලිය විසන්ධි වීමක් (Trip) බවත්, එමගින් රුපියල් කෝටි 660ක පාඩුවක් සිදුවූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි. මීට අමතරව, ‘දිට්වා’ සුළි කුණාටුව පිළිබඳව මහවැලි දත්ත මධ්‍යස්ථානය කලින්ම අනතුරු අඟවා තිබියදීත්, බලධාරීන් නිසි පියවර නොගෙන රාත්‍රී කාලයේ පොල්ගොල්ල හා කොත්මලේ ජලාශවල ගේට්ටු විවෘත කිරීම නිසා විශාල ජීවිත හා දේපළ හානියක් සිදුවූ බවටද ඔහු චෝදනා කළේය.
රජය ආර්ථිකය හසුරුවන ආකාරය පිළිබඳව විවේචනය කළ හිටපු ඇමතිවරයා, මහා බැංකුවේ රුපියල් කෝටි ලක්ෂයක් ඉතිරි වී ඇති බව පැවසුවද, එය නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව කෝටි 2000ක් වැය වන බවත්, එම මුදල් ලබාගෙන ඇත්තේ 11.5%ක ඉහළ පොලියකට බවත් පෙන්වා දෙයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට රටේ ප්‍රාග්ධන වියදම් 14%ක පහළ සීමාවට ගෙන ආවේ මෙම ආණ්ඩුව බවත්, මෙය ඇමතිවරුන්ගේ නොහැකියාව පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කරයි.
සුළි කුණාටුවෙන් මාස හතරක් ගතවී ඇතත් වින්දිතයන් තවමත් කූඩාරම්වල දිවි ගෙවන බවත්, ස්වේච්ඡා සංවිධානවල සහාය පවා රජය ප්‍රතික්ෂේප කර ඇති බවත් හිටපු ඇමති රණවක අවධාරණය කරයි.
රජය තම නොහැකියාව වසා ගැනීමට හැකියාව ඇති පුද්ගලයින් දඩයම් කරමින් සිටින බවටත්, පොලිස් රාජ්‍යයක් හරහා දේශපාලන පක්ෂ මර්දනය කිරීමට උත්සාහ කරන බවටත් හිටපු ඇමතිවරයා චෝදනා කරයි. රෝහණ විජයවීර වරක් ජේ.ආර්. ජයවර්ධනට කළ අනතුරු ඇඟවීමක් සිහිපත් කළ පාඨලී රණවක, “මර්දනය කරන්න පුළුවන්, හැබැයි මර්දනය පෙරළා එනවා” යන දර්ශනය ආණ්ඩුව මතක තබා ගත යුතු බව අවධාරණය කරයි.
අවසාන වශයෙන් ඔහු කියා සිටියේ, නොහැකියාවෙන් පෙළෙන රජය හැකියාව ඇති මිනිසුන් දඩයම් කිරීමට ගන්නා උත්සාහය දෙස තමන් විමසිල්ලෙන් බලා සිටින බවද ඇමති පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.