ශ්‍රී ලංකාවට සියලු පහසුකම් සහිත අලි රෝහලක් දීමට තායිලන්ත රජයේ අවධානය යොමුව තිබේ. එයට හේතු වී ඇත්තේ ලංකාවේ ජීවත්වන හීලෑ අලි ඇතුන්ට මෙන්ම වන අලින්ට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීමයි.
අලි ඇතුන් වෙනුවෙන් එක්ස්රේ, ස්කෑන් යන්ත්‍ර මෙන්ම විවිධ වෛද්‍ය පහසුකම් සහිත අලි රෝහලක් දීමට රාජ්‍ය මට්ටමින් සහයෝගය දීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් (Poj Harnpol) පවසා තිබිණි.
අලි ඇතුන්ට සැපයිය යුතු පහසුකම් කවරේද යන්න සහ අලින් වෙනුවෙන් රෝහලක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීමට තායිලන්තයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් නුදුරු දිනයක දී ලංකාවට පැමිණීමට නියමිතය.
එමෙන්ම මුතුරාජා ඇතා නැවත තායිලන්තයට ගෙන යෑමට සිදුව ඇත්තේ ද නිසි ප්‍රතිකාර නොලැබුණ නිසා බවත්, නිසි ප්‍රතිකාර මෙරටදී ලැබුණේ නම් මුතුරාජා ලංකාවේම රඳවා ගැනීමට හැකිව තිබූ බව ද හෙතෙම පවසා ඇත.
දළදා මාළිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න හා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් සමග කළ සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය. මෙරට අලි ඇතුන් වෙනුවෙන් රෝහලක අවශ්‍යතාවක් ඇතැයිද හෙතෙම තානාපතිවරයාට දන්වා තිබිණි.