ත්‍රිකුණාමලය අයිති එයට ආදරය කරන උන්ටයි….පිළිමය පන්සල් භූමියේ තැන්පත් කරන්න තීන්දු කළා…! – මාලිමා මන්ත්‍රී රොෂාන් අක්මීමන…

November 18, 2025 at 2:09 pm | by emanisa.lk

ත්‍රිකුණාමලට පිටින් ඇතුළු වී ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට සුළු පිරිසක් උත්සහ දරන ලදී. ජාතිවාදී ගිනිදැල්වලින් බැටකා තවමත් එම පිළිස්සුම් තුවාල කැලැල් මත අත්දැකීම් ඇති ත්‍රිකුණාමලය ජනතාව එය පරාජය කරන ලදී. අප බලයට පත්වීමට පෙරද සටන් කළේ ත්‍රිකුණාමලයේ ඇවිලුනු ගිනි නීවීමට වන අතර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නැවත එවන් පටු කුමන්ත්‍රණවල ගිනිදැල්වලින් ත්‍රිකුණාමලය අලු වීමට ඉඩ තබන්නේ නැත. දෙතුන් දෙනෙකු විසින් ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ පටු කුමන්ත්‍රණයක් වැළැක්වීමට මැදිහත් වුණු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසණාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිකුණාමලයේ පරිණත වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට මාගේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව පිරිනමමි.

එමෙන්ම ත්‍රිකුණාමලයට පිටින් පැමිණි සුළු පිරිසක් ත්‍රිකුණාමලයේ සමගිය බිඳීමට කුමන්ත්‍රණයක් කරන බව අවබෝධ කරගනිමින් එම අවස්ථාවේ එයට එරෙහිව මැදිහත්වුණු ත්‍රිකුණාමලයේ මිනිසුන් ගැන සැබවින්ම ආඩම්බර වෙමි. එමෙන්ම මෙම සිදුවීම ජනවර්ග අතර ගැටුමක් බවට පත්කිරීමට උත්සහ කල ජාතිවාදී දේශපාලනඥයින්ගේ උසිගැන්වීම්වලට හසුනොවූ සිංහල , දමිළ සියලු සහෝදරයින් පිළිබඳව මහත් ආඩම්බර වෙමි.

ත්‍රිකුණාමලය දේදුන්නක් තරම් ලස්සන ගමකි. එහි සුන්දරත්වය පවතින්නේ සියලුම වර්ණයන් එකට දිස්වන විටය.

ජායාරූපය : ඊයේ දින උදෑසන එම සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්‍ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලා සහ ඊට අදාළ රාජ්‍ය නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ජාව.
එහිදී ලබාගත් තීරණ :
⛔පිළිම වහන්සේ විහාරස්ථානයට අයත් භූමියේ තැන්පත් කිරීම
⛔විහාරස්ථානයට අයත් පැරණි ගොඩනැගිලි පැවති භූමිය හඳුනාගෙන නිසි පරිදි මායිම් සලකුණු කිරීම
⛔එම භූමිය වෙරළ සංරක්ෂණ කලාපයට අයත් භූමියක් බැවින් සහ ත්‍රිකුණාමලය නගරය නාගරික සංවර්ධන අධිකාරියට යටත් බැවින් කිසියම් ඉදිකිරීමක් කරන්නේ නම් අදාල සියළු ආයතනවලින් නෛතික අවසර ලබාගැනීම මගින් ඇතිවිය හැකි නෛතික ගැටලු වළක්වා ගැනීම

ත්‍රිකුණාමලයට නායකත්වය දීම යනු සැබවින්ම අභියෝගාත්මක කාර්‍යභාරයකි. එයට හේතුව අනෙක් දිස්ත්‍රික්කවලට වඩා වෙනස් ලෙස ත්‍රිකුණාමලයේ සියළු ජනවර්ග වල ජනතාව එකට සම්මිශ්‍ර වී ජීවත් වීමයි. පැරණි දේශපාලනඳයින්ගේ උපක්‍රමය වූයේ ජනවර්ග අනුව බෙදාගෙන දේශපාලනය කිරීමයි. එම දේශපාලනය මගින් ශේෂ කළේ ජාතිවාදී ගැටුම් සහිත ත්‍රිකුණාමලයකි. මෙවන් සිදුවීම් කපා කොටා ගැනීම් දක්වා වර්ධනය කරන ඉතිහාසයක් කුඩා කල පටන් අප දැක ඇත්‍තෙමු.

එවන් ඉතිහාසයක අත්දැකීම් ඇති අප තෝරාගෙන ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා “ත්‍රිකුණාමලයේ ජනතාව” ලෙස සලකා ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් එකිනෙකා විසින් පිළිගන්නා ඒවාට ගෞරව කරන සමාජයක් දෛනිකව පවත්වාගැනීම වෙනුවෙන් වූ දේශපාලන මාවතයි. කෙදිනකවත් මනාප ඡන්දයක් වෙනුවෙන් ඒ උත්තරීතර අරමුණු පාවා දෙන්නේ නැත.

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *