තංගල්ලෙන් ඇල්ලූ අයිස් ගෙනාවේ මුහුදින්…. කන්ටේනර්වලින් නෙමෙයි….! – පොලිසිය…

September 24, 2025 at 9:25 am | by emanisa.lk

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් මුහුදු මාර්ගයෙන් පසුගියදා (21) මෙරටට ගෙනැවිත් ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩ බා එතැන් සිට වෙරළ අසල නිවසකට ගෙන ගොස් පසුව එම තොගය ලොරි රථවලට පටවා සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා දෙකකදී ප්‍රවාහනය කර ඇති බව පොලීසිය පවසයි.

මාවැල්ල වෙරළේ සිට සීනිමෝදර නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පිරිස පසුව එම නිවසේදී ද මත්පැන් පානය කර ඇති අතර හමුවූ මළසිරුරු අසල අයිස් මත්ද්‍රව්‍ය ද තිබූ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවසේ සිට මත්පැන් පානය කළ තිදෙනා අතුරින් රෝගීවූ 49 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පුත්‍රයින් දෙදෙනා විසින් රෝහල්ගත කෙරුණු අතර ඉන්පසු සිය පියාගේ කුඩා ලොරි රථය රැගෙන යාම සඳහා ඔවුන් සීනිමෝදර නිවසට පැමිණ තිබුණි.

එහිදී එම නිවසේ සිටි පිරිසක් තමන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කරවීමට උත්සාහ කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත. මේ බව ඔවුන් හෙළි කර ඇත්තේ ඔවුන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවස තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් අබිරහස් ලෙස මිය යාමත් සමඟ පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ලොරි රථ තුනක සඟවා තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක ප්‍රමාණයක් පෙරේදා සොයාගනු ලැබීය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ එම නිවස අසල තිබූ කුඩා ලොරි රථයෙන් අයිස් කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 970ක්, එම ඉඩමේම තිබූ අනෙක් ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 168යි ග්‍රෑම් 694ක් සහ අයිස් කිලෝග්‍රෑම් 319යි ග්‍රෑම් 220ක් සොයාගැනීමට පොලිසිය සමත්විය.

එමෙන්ම තංගල්ල ගොඩැල්ලවෙල ප්‍රදේශයෙන් හමුවූ කොමඩු අසුරා තිබූ ලොරි රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 115යි ග්‍රෑම් 720ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 94යි ග්‍රෑම් 570ක් සොයාගෙන තිබේ.

ඒ අනුව ඊයේ සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 705ට අධික අතර එහි වටිනාකම රුපියල් මිලියන 9,888ක් බව පොලිසිය පවසයි. ගොඩබිම සිදුකළ මෙහෙයුමකදී එක් දිනක් තුළ මෙරටින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. විදේශයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන “උනාකූරුවේ ශාන්ත” නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව ද පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ අතර මත්ද්‍රව්‍ය සඟවා තිබු ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස, ඇල්පිටිය සහ මීටියාගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන අතර ඔහු රත්මලානේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් ද පොලිසිය සොයාගෙන තිබුණි.

සැකකරු අවස්ථා 04 කදී මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු වී රක්ෂිත බන්ධනාගාර ගතකර ඇප මත මුදාහැරි අයෙකි. ලොරි රථවල හිමිකරුවන් තිදෙනා ගල්කිස්ස සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණවලට අද ඉදිරිපත් කර මේ මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස