ඩග්ලස්ට රිෂාඩ්ට සුමන්දිරන්ට ඇමැතිකම් නෑ… ඇමැතිකම් දෙන්නේ මාලිමාවේ අයට විතරමයි…!

November 9, 2024 at 9:39 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට හෝ රිෂාඩ් බදියුදීන් මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික බිමල් රත්නායක මහතා පවසයි.

“දේවානන්ද මහතා ජනාධිපතිතුමා හමුවන්න වෙලාවක් ඉල්ල ගත්තා. හිටපු ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් නිසා එවැනි ඉල්ලීමකට ජනාධිපතිතුමා ඉඩදීම දේශපාලන සදාචාරයයි. දේවානන්ද මහතා ජනාධිපතිවරයා හමුවු වෙලාවේ ඔහු ජනාධිපතිවරයා සමඟ එකට සිට ෆොටෝ එකක් අරගෙන තියෙනවා.

ඒක අරගෙන ගිහින් ඔහු උතුරේ පත්තරවල පලකරලා. ෆෙස් බුක් එකේ දාලා. ජනාධිපතිතුමා එයාට උදව් කරනවා කියලා වැඩි ප්‍රචාරයක් ගත්තා. එයාගේ පත්තරේ ලිව්වා. ඔහු ධීවර ඇමති කාලේ අමාත්‍යාංශයේ කළ වැඩ ගැන කතා කළා කියලා මිනිස්සුන්ට බොරු කිව්වා. ඩග්ලස් දේවානන්ද මහතා ගැන අපි ලැජ්ජා වෙනවා.

මාලිමාව දිනුවට පස්සේ එයා ඒ ආණ්ඩුවට එකතු වෙනවා කියලා දැන් එයා හැමතැනම කිය කියා යනවා. ඩග්ලස් දේවානන්දට ඇමතිකමක් දෙන්න ජනාධිපතිතුමාටවත් අපිටවත් පයිත්තියං නෑ. අපි බලාගෙන හිටියා මේ බොරුව ඉවර කරයි කියලා. ඩග්ලස් සහ ඔහුගේ ගෝල බාලයෝ මේ බොරුව අද හැමතැනම කිය කියා යනවා.

රාජපක්ෂ එක්ක එකතුවෙලා රට විනාශ කරපු ඇමතිවරු ඉන්නවා. රාජපක්ෂ, වික්‍රමසිංහ, මෛත්‍රිපාල එක්ක එකතු වෙලා උතුර විනාශ කරේ කවුද? ලංකාව විනාශ කළ ඇමැති මණ්ඩලයේ හිටපු කෙනෙක් තමයි දේවානන්ද කියන්නේ. ගිය පාර ඡන්දේදි ඩග්ලස් දේවානන්ද උදව් කළේ රනිල්ට. රිෂාඩ් බදුර්දීනුත් මේ වගේ ප්‍රචාර ගෙන යනවා. ජනාධිපතිතුමා, ඔහුට ටෙලිෆෝන් කළා කියලා. ඔහුත් රාජපක්ෂ කාලේ ඇමතිකම් දැරු අයෙක්.

සුමන්තිරන්ගේ ආධාරකරුවොත්, ශ්‍රී ධරන්ගේ ආධාරකරුවොත්, මේ වැඩේම කරනවා කියලා ආරංචියි. දුප්පත් දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ ඡන්ද ඉල්ල ගන්න. යුද්දෙ කාලේ දුප්පත් දෙමළ, මුස්ලිම් අයගේ ඉඩම් අල්ල ගත්තේ මේ කට්ටිය. එයාලා දිනුවොත් මාලිමාවට සහයෝගය දෙනවා කියලා ඡන්දෙ ඉල්ලනවලු. මාලිමාවට ඡන්දෙ දෙනවා නම් වෙන ඒවට ඡන්දෙ දෙන්නෙ මොකටද? මාලිමාවටම දුන්නම ඉවරයි..

මාලිමාව කියන්නේ මාලිමාව මිස වෙන කවුරවත් නෙමේ. ඇමතිවරු වෙන්නෙත් මාලිමාවෙම අය.”

ඔහු යාපනයේ දී ජනහමුවක් අමතමින් ඊයේ (08) මේ බව පැවසීය.

ආරියරත්න රණබාහු
Lankadeepa

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *