ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 20ක තීරු බද්ද හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ රැකියා 16,000ක් පමණ අවදානමකට ලක්විය හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ නිලධාරී ආචාර්ය අනිල් විජේසිංහ අනතුරු අඟවයි.
එම ආයතනය විසින් සකසන ලද නවතම අධ්‍යයන වාර්තාවක් පවසන්නේ, මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 634ක විදේශ විනිමය අහිමි වීමක් ද සිදුවිය හැකි බවයි.
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ වාර්තාවට අනුව සියයට 44ක් ලෙස පැනවූ බද්ද සියයට 20ක් දක්වා අඩු කළ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බද්ද සාපේක්ෂව ඉහළ අගයක පවතී.
මෙම තත්ත්වය මත සමස්ත බදු ප්‍රතිශතය සියයට 29.9ක් පමණ දක්වා ඉහළ යන අතර පසුගිය අප්‍රේල් මසයේදී මෙම බදු ප්‍රතිශතය සියයට 10.2ක් විය. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 25ක් පමණ ඇමරිකානු බද්දේ බලපෑමට යටත් වන අතර ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇමෙරිකාවට අපනයනය සියයට 12.1කින් පහළ යනු ඇත.
මේ ආකාරයට නිෂ්පාදන පහළ යෑම නිසා ඇඟලුම් ක්ෂේත්රයේ බහුතර කාන්තා රැකියා අවස්ථා 15,908ක් අහිමි වීමේ ඉඩක් පවතින බවට එම ආයතනය ඇස්තමේන්තු කර ඇත.