හඳුන්නෙත්ති ලෝක ආර්ථික සමුළුවට ගොස් රාජ්‍ය තාන්ත්‍රිකයකුට නොගැලපෙන විකාරරූපී සෙල්ලමක් සිදු කරන වීඩියෝව අද වයිරල් වී ඇත. මේක ඉංග්‍රීසි සම්බන්ධ ප්‍රශ්නයකට වඩා රාජ්‍යයක් පිළිබද විකාරරූපී සෙල්ලමකි. රාජ්‍යය නියෝජනය කරන්නන් මහජනතාවගේ බදු මුදලින් විදේශ රාජ්‍යතාන්ත්‍රික සංචාරයන්ට එක් වී මේ තරම් වගකීම් විරහිතව කටයුතු කිරීම බරපතළ කරුණකි. අවශ්‍ය නම් මෙම සංචාරයට හඳුන්නෙත්ති සඳහා වැය වූ මුදල ප්‍රථිඵලදායක නොවීම රජයට වූ පාඩුවක් ලෙසද සැලකිය හැක.
හඳුන්නෙත්ති ඇතුළු මේ ආණ්ඩුවේ නායකකාරකාදීන්ට ඇති බරපතළ ප්‍රශ්නයක් වන්නේ හීනමානයය. හඳුන්නෙත්ති පෙන්වන්නේ හීනමානයේ තරමය. ඉංග්‍රීසි බැරිකම මේ රටේ ජනතාව සැලකිල්ලක් නොදැක්වුවද එහෙම බැරිකම විශාල අවුලක් සේ ඔවුන් දකියි. ඔවුන් සිතන්නේ ඔවුන් දැන් හිමින් හිමින් නගින අලුත් පංතියේ ඉනිමගට එය අඩුවක් ලෙසය. එම නිසා ඒ අඩුව පුරවන්නට මේ ජාත්‍යන්තර ෆෝරමය යොදා ගැනීමේ අසාර්ථක උත්සහයක හඳුන්නෙත්ති නිරත වෙයි. කළේ පොඩි ට්‍රයි එකක් දීමය. එසේ නොවේ නම් හඳුන්නෙත්තිට ඉතා පහසුවෙන් මව් බසින් පිළිතුරු දී භාෂණ පරිවර්තකයකුගේ සහය ලබා ගත හැකිව තිබුණි.
අලුත් අණ්ඩුව පත් වූ සැනින් තමන් මීට පෙර පුරුදු පරිදි උත්සව අවස්ථාවන්ට ද හැඳ පැළදගෙන යන ඇඳුම් ගලවා යුරෝපීය ටයි කෝට් විලාසිතාවට ඔවුන් ගියේ ජනතාව ඉල්ලා සිටි නිසා නොව, තමන්ට තමන් ගැන හීනමානයක් ඇති නිසාය. තමන් මීට පෙර සිටි විදිය අවුල් බව තමන්ම සිතන හීනමානය නිසාය. ඒ නිසා රනිල්ගේ ඇඳුමට ක්ෂණයෙන් මාරු විය.
ජනාධිපතිතුමා විවිධ ජාත්‍යන්තර නායකයන්, IMF නියෝජිතයන්, වෙනත් ජාත්‍යන්තර නියෝජිතයන් සමග සාකච්ඡා කරනු අපි දකින්නේ එක්කෝ ඡායාරූප ලෙසය එසේත් නොමැතිනම් හඬ නොමැති වීඩියෝ ලෙසය. ජනාධිපතිතුමා එහිදී භාෂණ පරිවර්තකයකුගේ සහය ලබා ගෙන මව් බසින් කතා කරනවා විය හැක. කළ යුතු ක්රමයද එයයි. එය ජනතාවට ගැටළුවක් වී නැතත් ජවිපෙට, සුළු ධනේෂ්වර ජාජබට, විප්ලවවාදී ජනාධිපති මාධ්‍ය අංශයට එය ගැටළුවක් වී තිබේ. ඒ නිසා එවැනි සාකච්ඡාවලදී ජනාධිපති තුමාගෙ හඩ වැසීමට ඔහුගේ මාධ්‍ය ඒකක පියවරගෙන තිබේ.
ආණ්ඩුවේ මහත්තුරුන් සිතන්නේ ඔවුන්ට ඉංග්‍රීසි දැනුම නොමැති වීම මදි කමක ලෙසය. අපි ඔක්කොම දන්නවා යැයි සිතීමද කියවීමද හීනමානයේ එක් කොටසකි. තමන් අනෙක් අයට වඩා දන්නා අය බවද තමන් උපාධිකාරයන් ය යනුවෙන් පෙන්වීමද ඒ ගැන කියවීමද හීනමානයකි. තමන් නොදන්නා දේවල්ද තිබෙන බවත් තමන් උගත්නම් ඒ ගැන පුම්බන්නේ නැතිව අනෙකාට සවන් දීම වැදගත් ක්‍රමයයි. ආණ්ඩුව ඉතා වේගයෙන් එය මගහරිමින් සිටියි.
විදෙස් සංචාර, වාහන භාවිතය, පැලවත්තේ වාසය, ඉංග්‍රීසි විකාරය, ටයි කෝට් සෙල්ලං, මම මන්ත්‍රී විගඩම් ඇතුළු නානාවිධ කාරණා හරහා ජවිපෙ ඇතුළු සුළු ධනේෂ්වර බලවේගයන් තුළ වූ නෛසර්ගික අර්බුදයක් වන හීනමානය විදහා පාමින් තිබේ. මෙය රාජ්‍ය තාන්ත්‍රික කරුණු දක්වාද විහිදෙමින් ඇති අතර, එය බරපතළ අනතුරුදායක තත්වයක් රටටත් ආණ්ඩුවටත් ඇති කරයි. ආණ්ඩුව විහිළුකරයන් හෝ පුස් චණ්ඩින් නොවී ඇත්ත මත ජීවත් වීමට පුරුදු විය් යුතුය.
දුලාන් දසනායක