ජාතික බලවේග අඩපණ යුගයක භික්ෂුවගේ නැඟී සිටීම වැදගත්….! – ගෙවිඳු කුමාරතුංග….

October 18, 2026 at 12:54 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනකි.

භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා පා ගමන මේ රටේ දේශපාලනයේ වැදගත් කඩඉමක් යයි සිතමි. අපගේ ජාතික බලවේග දුර්වලව, අඩපණව පැවැති අවස්ථාවක, සිංහල හදවත්, බෞද්ධ හදවත් තවමත් පණ-ගසන බව කියාපෑම මෙහි පුමුඛ වැදගත්කමයි.

මේ විරෝධය අසංවිධානාත්මකය. අසංවිධානාත්මක මෙන් ම, එක නායකත්වයක මෙහෙයවීමෙන් සිදු කෙරුණක් ද නොවේ. දිගින්-දිගට ම බෞද්ධයන්ට කෙරුණු කෙණෙහිලිකම්වලට එරෙහි ව හුදී ජනයා ගෙන් ම, නිරායාසයෙන් පැනනැඟුණකි. වසර දහස් ගණනක් පුරාවට අප කටයුතු කර ඇත්තේ ද එ සේ ය. පොළොන්නරු රාජධානියේ අවසානය සනිටුහන් කිරීමට, එ තැන් පටන් පරිහානියේ මාර්ගයට පිවිසීමට, පරාක්‍රමබාහු මහ රජතුමාගේ දැඩි මධ්‍යගත පාලනය හේතු වී දැ යි යන්න විමසිය යුතු ව ඇත.

මේ නැඟිටීම ජාතික ව්‍යාපාරය පැත්තෙන් අතිශයෙන් ම වැදගත් ය. අපේ ම ආණ්ඩුවක් – ගෝඨාභය ආණ්ඩුව – පවතිද්දී ජාතික බලවේග මුහුණ පෑ අතෝරයන් හමුවේ පවා, නව නැඟිටීමක විභවය ඉන් ප්‍රකට වූ බැවිනි.

ගෝඨාභය රජය යටතේ ජාතික ව්‍යාපාරය මෑත යුගයේ ඛේදනීය ම තත්ත්වයට ඇද වැටුණේ ය. ජාතික ව්‍යාපාරයන්ට නායකත්වය දුන් ඇතැම් භික්ෂූන්ගේ තනතුරු ලෝභය රටට ම පෙනුණේය. ගෝඨාභය ජනාධිපතිතුමා තමා දුන් ප්‍රතිඥාවලට එරෙහි ව කටයුතු කරද්දී, ජාතික ව්‍යාපාරය හා බැඳුණු පිරිස් රජය නිවැරැදි කරගැනීමට ද, පොහොට්ටුව හා සහසම්බන්ධ භික්ෂූන් වහන්සේලා ජාතික වගකීම් පසෙක ලා තම දේශපාලන නායකත්වය රැකීමට ද, ලෙස බෙදුණේ ය.

හුදී ජනයා අසරණ ව විසඳුම් සොයා වෙනත් බලවේග කරා ඇදුණි. බොහෝ ක්‍රියාකාරීන් කලකිරී අක්‍රීය විය. ඒත් සිංහලයන්, බෞද්ධයන් තම හදවතේ ඇණවුම පරිදි පෙරට ඒමට සූදානම් බව මේ සිද්ධිදාමය පෙනුම් කර ඇත.

එහෙත් ජ.විපෙ. ජාතිකත්ව විරෝධී ගමන අඩපන කිරීමට මේ නැඟිටීම කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත (මේ ලිපිය ලියන අතර විහාරමහා දේවි උද්‍යානයේ භික්ෂූන් වහන්සේලාට පොලිස් පහරදීමක් සිදු කෙරෙන බව දැනගන්නට ඇත). ඒ වගේ ම සැබෑ ජාතික බලයක් ගොඩනැඟෙන (නඟන) තෙක් තවත් වලකට නොවැටීම වඩා යහපත් විය හැකි ය. ඉඟුරු දී මිරිස් ගැනීමේ අවසාන ප්‍රතිඵලය වූයේ සිංහලේ රාජ්‍යය අපට අහිමිවීම ය.

ඒ වගේ ම, අපි අපි නිවැරැදි වන තෙක්, ලොකු දේවල් බලාපොරොත්තු වීමේ තේරුමක් නැත. අපි සිංහල රාජ්‍යයක්, බෞද්ධ රාජ්‍යයක් අපේක්ෂා කරන්නේ නම්, පළමු ව අපි සිංහල විය යුතු ය; බෞද්ධ විය යුතු ය. උපතින් එ සේ වීම ප්‍රමාණවත් නොවේ; අවශ්‍ය ද නොවේ. පැවැත්මෙන් ම, අපි සිංහල-බෞද්ධ සභ්‍යත්වයක උරුමකරුවන් විය යුතු ය.

අප ගේ එදිනෙදා ජීවිතය ඒ සාරධර්ම මත ගොඩනැඟුනක් ම විය යුතු ය. අප ගේ අනාගත බලාපොරොත්තු, අප ගේ දරුවන් පිළිබඳ බලාපොරොත්තු මේ පොළොව හා බැඳී පැවැතිය යුතු ය. නොඑසේ ව, අපට මේ ජාතික අරගලය අර්ථාන්විත කිරීමට නොහැකි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *