ජාතික කලාභවන…: පෞද්ගලික ගැලරිකරුවන්ට දුන් බිල්ලද….?

April 27, 2026 at 6:48 pm | by emanisa.lk

සිය වසකට අධික කාලයක් තිස්සේ මෙරට කලාකරුවන්ගේ කලා නිර්මාණය ප්‍රදර්ශනගාරය මෙන්ම සාඩම්බර ජාතික උරුමයක් වූ කොළඹ ජාතික කලාභවන ජාතියට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

කොළඹ ජාතික කලාභවන සහ ජෝන් ද සිල්වා සමරු රඟහල පරිශ්‍රය අලුත්වැඩියා කර නවීකරණය කරන මුවාවෙන් වසා දමා දැනට වසර 16ක් වන අතර මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වැයකර තිබේ.

මෙම කටයුතු සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් සැලසුම් සකසා උපදෙස් දුන් අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එහි ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේය. කලාභවන ප්‍රතිසංස්කරණය මේ වන විට එක්තරා කල්ලියක් වෙත මාසිකව ලක්ෂ ගණනින් මුදල් ගලන උල්පතක් බවට පත්ව ඇති අතර එය ප්‍රතිසංස්කරණයට මුවාවී පියවරෙන් පියවර විනාශ කරමින් ඇතැයි චෝදනා නැගෙයි.

පසුගිය සමයේ සිදුකළ සියලු ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බව වාර්තා වන අතර බිත්ති පුපුරා ඉරිතලා ගොස් තිබේ. එපමණක් නොව කෝටි ගණනක් මහජන මුදල් යට කළ නවීන වැසිකිළි පද්ධතිය, විදුලිබල පද්ධතිය, වහල, ජල පොකුණු ඇතුළු සමස්ත රඟහලම විනාශ මුඛයට පත්ව තිබේ. ජල පොකුණේ ජල කාන්දුව ප්‍රධාන ශාලාවෙහි පාදම විනාශ කරමින් කුලුණු දක්වා පැතිර අවසන්ය.

මේ සියලු විනාශයන් මැද දශක ගණනාවක් කලා භවනේ ප්‍රදර්ශනය කළ මිල කළ නොහැකි ඉපැරණි චිත්‍ර 47කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයිද මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස අතුරුදන්ව ඇති වටිනා සිතුවම් අතර ඒ.සී.ජී.එස්. අමරසේකර, ජේ.ඩී.ඒ. පෙරේරා වැනි විශිෂ්ට නිර්මාණකරුවන්ගේ නිර්මාණද වෙයි.

මේ අතරින් චිත්‍ර කිහිපයක් යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකුගේ සහෝදරියගේ සැමියාද කැසිනෝ ව්‍යාපාරිකයෙකුද සතුව ඇතැයි දැනගන්නට තිබේ. මෙම මංකොල්ලය සඳහා එහි මුරකරුවන්ගේද සහාය ලැබී ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය.

මේ වන විටත් පරම්පරා තුනක කලාකරුවන්ට කලා භවනේ සිය කලා කෘති ප්‍රදර්ශනය කිරීමට තිබූු ඓතිහාසික අවස්ථාව පැහැරගෙන ඇති අතර එහි පැමිණ නිදහසේ කලාකෘති රසවිඳීමේ අයිතිය දෙස් විදෙස් කලා රසික ප්‍රජාවට අහිමි කර ඇත. සැබවින්ම මෙය රටේ කලා ඉතිහාසය පමණක් නොව වර්තමානය සහ අනාගතයද විනාශ කර දමන මහා අපරාධයකි. රටේ සාඩම්බර උරුමයක් ජාතියට අහිමි කිරීමකි.

වර්තමාන බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, ඉතා ඉක්මනින් කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර විවෘත කරන බවට ලබාදුන් පොරොන්දු තවත් විහිළුවක් බවට පත්ව තිබේ. කෙසේ වුවද ජාතික කලා භවන අහිමි කිරීම පෞද්ගලික කලාගැලරි හිමියන්ට මේ වන විට සිතුපැතු සම්පත් දෙන සුරබිදෙනක් බවට පත්ව තිබේ.

2006 වසරේ අලුතින්ම ඉදිකළ නෙළුම් පොකුණ රඟහල 2011 වසරේදී විවෘත කෙරිණි. 2008 ඉදිකිරීම් ආරම්භ කළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2010 විවෘත විය. 2012 ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුලුන 2022 විවෘත විය. සියවසකට එපිට එනම් 1919 වසරෙහි ඉදිකළ 16 වසරකට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දැමූ ජාතියේ කලා නිකේතනය, ජාතික කලා භවන ජාතියට අහිමි කර ඇත්තේ කාගේ අවශ්‍යතාවක් සැපරීමටද යන්න විශාල ගැටලුවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *