ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ පිරිසින් දැනට එම පක්ෂයේ ඉතිරි වී ඇත්තේ ටිල්වින් සිල්වා සහ කේ.ඩී. ලාල්කාන්ත පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තමන් සමග සමකාලීනව ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ කුමාර ගුණරත්නම්, දිමුතු ආටිගල, සෝමවංශ අමරසිංහ, සේනාධීර ගුණතිලක, චන්ද්‍රෙස්න විජේසිංහ, නන්දන ගුණතිලක ආදීන් පසුකාලීනව ජවිපෙන් ඉවත් වූ බවයි.
අනුර දිසානායක, විජිත හේරත් තමන් පක්ෂයෙන් ඉවත් වන්නට වසර 2-3කට පෙර දේශපාලන මණ්ඩලයට පත්කළද බිමල් රත්නායක එකලද දේශපාලන මණ්ඩලය නියෝජනය නොකළ බවද අනුර දිසානායක පූර්ණකාලීනව ජවිපෙ දේශපාලනයට එකතු වන්නේ 1997 වසරේ පමණ බවද විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
තමන් ජවිපෙ සිටියේ නම් ජනාධිපති ධුරයට පත්වීමේ අවස්ථාවක් ලැබිය හැකි වුවද ජනතාවට ලබා දුන් පොරොන්දුවලට සපුරා ප්‍රතිපක්ෂය නියෝජනය කරන ආණ්ඩුවක ජනාධිපතිවරයෙකු වීම හෘද සාක්ෂියට එකඟ නොමැති කටු ඔටුන්නක් බවද ඔහු අවධාරණය කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.