වියළි කාලගුණය නිසා ජලාශවල ජල මට්ටම් පහත වැටෙන විට විදුලි නිෂ්පාදනය සඳහා වැඩිපුර ඩීසල් භාවිතයට සිදුවන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ යුදමය තත්ත්වය කවදා කෙළවර වේදැයි සිතිය නොහැකි බවත් එය ඉක්මනින් අවසන් වුවද තෙල් නිෂ්පාදනය කරන රටවල යටිතල පහසුකම්වලට සිදුව ඇති හානි නිසා මිල ඉක්මනින් පහත නොවැටෙනු ඇති බවයි.
එහෙයින් විදුලිය ඉතාම අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවත් නගරවල සහ නිවසේ සියලු අනවශ්‍ය විදුලි පහන් නිවාදැමිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
රෙදි සෝදන මැෂිම කාර්ය බහුල නොවන කාලවල භාවිත කළ හැකි බවත් සතියේ දින 3-4ක රෙදි එකවර සේදිය හැකි බවත් ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි. විදුලි නිෂ්පාදනය සඳහා වැය වන ඩීසල් ප්‍රමාණය අඩුකරගත හැකි නම් එම ඩීසල් ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යෙදවිය හැකි බවද ඔහු ප්‍රකාශ කරයි.
අද (24) මාධ්‍ය හමුවක් අමතමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.