රුපියල් 35ක ලාභයක් ද සහිතව රුපියල් 160කට තිරිඟු පිටි කිලෝවක මිල නියම කළ හැකි වුවද ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් එම පිටි කිලෝවක් රුපියල් 210කට අලෙවි වන බව ජාතික ජන බලවේගයේ නායක, මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට සහ තිරිඟු පිටි මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බවත් ඩොලරයේ අගය අඩු වී තිබෙන බවත් එහෙයින් මෙරටට පිටි ආනයන සමාගම් අධික ලාභයක් ලබන බව ද හෙතෙම පැවසීය.
මෙසේ මිල අඩු කිරීමට ආණ්ඩුව මැදිහත් නොයනුයේ අධික ලාභ ලබා ගන්නා එම සමාගම්වලින් මැතිවරණ ව්‍යාපාරයේදී මුදල් ලබා ගැනීමට යැයි ද හෙතෙම චෝදනා කළේය. එම සමාගම් මෙරට මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීම ජනප්‍රිය කරුණක් බව ද ඔහු සඳහන් කළේය.
තිරිඟු පිටි ආනයනයේ දී මේ වන විට රුපියල් 35ක බද්ද ද ඉවත් කර ඇති අතර එමගින් ද ආණ්ඩුවට විශාල පාඩුවක් වන බව කී මන්ත්‍රීවරයා ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අඩු වන තත්ත්වයකදී වෙනත් ආයතනවලට එම පිටි ආනයනය කිරීම ද වළක්වා ඇතැයි ද කීය.