ජනපති හාල් මිල නියම කළේ තවත් වඩා රු. 10ක් වැඩි කරලා…!- කුඩා මෝල් හිමියෝ…

December 8, 2024 at 11:12 am | by emanisa.lk

සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ සේමසිංහ මහතා චෝදනා කරයි.

“සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට එකඟතාවකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සහල් සම්බන්ධයෙන් ගැසට් කරපු මිලක් තිබුණා. ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ.

නමුත් අද දවසේ සිට කීරි සම්බා හැර අනෙක් සහල් වර්ග 03 සඳහා රුපියල් 10ක වැඩිවීමක් නියම වෙලා තියෙනවා. මේක නෙමෙයි කරන්න තිබුණේ. නියාමනයට යටත්ව සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම කිරීම තමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ තීන්දුව දැන් අරගෙන තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා සහ රජය විසින් මේ ගත්තු තීරණයට අනුව, අද දවසේ සිට පාරිභෝගික අධිකාරිය හරහා සහල් වැටලීම් සිදුකරන්න ආරම්භ කරයි කියලා.

එහෙම නොකළොත් මේ රටේ පාරිභෝගික ජනතාව දැවැන්ත අසාධාරණයකට ලක්වෙනවා. මෙය රුපියල් 10ක් සහල් වැඩිකරලා දීලා මහා පාරිමාණ වී මෝල් හිමියන්ට තවත් රුපියල් 10කින් ඔවුන්ගේ ලාභය වැඩිකරලා දුන්න අවස්ථාවකත් නොවිය යුතුයි. ඒ නිසා අනිවාර්යෙන් පාරිභෝගික අධිකාරිය විසින් ලංකාව පුරා සියලුම වෙළෙඳසැල් සහ වී මෝලවලට ගිහිල්ලා ඒ වැටලීම් සිදුකරලා මේ සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *