19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය වූ බැවින් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පවසයි.
ඊයේ ගාල්ලේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, 19 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය වෙනස් නොකිරීම ජයම්පතී වික්‍රමරත්න මහතා අතින් පළපුරුද්ද නොමැතිකමින් සිදුවූ අත්වැරැද්දක් ලෙසය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා අද මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණි.
“මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදුකරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාර එහි සඳහන් වගන්ති ගණනාවක් පෙරකී හය අවුරුදු කාලයට පටහැනි ඕනෑම වෙනසකට ජනමත විචාරණයක් අවශ්‍යය. තවද 83 වැනි වගන්තිය සංශෝධනය කිරීමටද ජනමත විචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුයි.
කරුණු මෙසේ තිබියදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුළු සංශෝධන ක්‍රියාවලියම සිදුවූ බව නැවත අවධාරණය කරමි.”