මෙම මැතිවරණය පොදු ජනතාවගේ ආශීර්වාදය මත ජයග්‍රහණය කර යහපත් දේශයක් ඇති කර රට ගොඩනගන රට සංවර්ධනය කරන යුගයක් කරා නායකත්වය ලබා දෙන බව සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එසේම, පත්වී සිටින ජනාධිපතිවරයා සමග රටේ අවශ්‍යතාව උදෙසා, ලක්ෂ 220ක් ජනතාවගේ අවශ්‍යතාව උදෙසා රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කළ යුතු උපරිම කාර්යභාරය ඉටු කරන බවත් මෙතෙක් කල් තිබුණු ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා සහෝදරත්වයෙන් සම්මුතිවාදීව කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා 2028 වන විට විදෙස් ණය නැවත ගෙවිය යුතු බැවින් මේ කුඩා වූ ආර්ථිකය නැවත නගා සිටුවිය යුතු බවත් එය සියලු දෙනාගේම වගකීමක් නිසා ලක්ෂ 220ම එකට එකතු වී ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දැඩි තරගකාරීත්වයක් තිබූ බවත් කාන්තාවන් වෙනුවෙන් ද විශාල ඉඩක් වෙන් කර ඇති බවත් ඉදිරි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයේ දී 25%ක වෙන් කිරීම ද ලබා දී මීටත් වඩා කාන්තා නියෝජනත්වය ලබා දෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.
දේශපාලනය හෝ වෙනත් වෘත්තීන් කරන සියල්ලන්ටම තමන්ගේ සේවය අවසන් කළ යුතු කාලයක් එළඹෙන බවත් අවසානයේ වැදගත් වන්නේ ජනතා ආශිර්වාදය තුළ කටයුතු කිරීම බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.