ජනපති අනුරට රහස් වාර්තාවක්…. ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ට වැටේ… දිට්වා පෙන්වා ඡන්දේ කාල් දාන වෑයමක්….!

February 9, 2026 at 2:40 pm | by emanisa.lk

ආණ්ඩුව සති දෙකකට පෙර පෞද්ගලික ආයතනයක් ලවා සිදුකළ සමීක්ෂණයක් අනුව ආණ්ඩුවේ ඡන්ද පදනම සියයට 24.7 දක්වා පහත වැටී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

දකුණේ ජවිපෙ ත්‍රස්තවාදයද උතුරේ කොටි ත්‍රස්තවාදයද පැවති 1989 කාලයේ පවා කල් නොදැමූ පළාත් සභා මැතිවරණය දිට්වා කුණාටුවට මුවාවී කල්දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ ඒ නිසා බවයි, ඔහු අවධාරණය කළේ.

තමන් අදාළ සමීක්ෂණය පිළිබඳ කීවේ අසත්‍යයක් නම් මාසයක් ඇතුළත පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කර පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවද උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

2024 නොවැම්බර් මහා මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 69ක් දිනාගත් මාලිමාණ්ඩුව අනතුරුව මාස හයකට පසු පැවැත්වූ පළාත් පාලන මැතිරණයේදී හිමිවූයේ ඡන්ද ලක්ෂ 45ක් බවද ඔහු පෙන්වාදෙයි.

‘පහුපහු වෙන කොට කොහු කොහු වෙනවා’ යැයි සිංහල කියමනක් ඇතැයි සිහිපත් කළ හිටපු ඇමතිවරයා තවමත් 24.7%ක ඡන්ද පදනමක් ඉතිරිවී තිබීම ගැන සතුටු විය යුතු බවත් නොබෝ කලකින් එය සුපුරුදු 3%ටම වැටෙනු ඇති බවත් සඳහන් කරයි.

2025 මැයි මස පළාත් සභා ඡන්දය පැවැත්වූයේ නම් ආණ්ඩුවට බස්නාහිර සහ උතුරු මැද පළාත් සභා ජයගත හැකිව තිබුණද මේ වන විට ආණ්ඩුව සියලු පළාත් සභා පරාජය වන තැනට පිරිහී ඇතැයිද උදය ගම්මන්පිල පවසයි.

පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *