ජනපතිට දුක කියන්න ගිය පිරිසකට මහ බැංකුව වටලන්නැයි උපදෙස්…!

February 8, 2025 at 11:16 am | by emanisa.lk

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් සහන ලබා නොදීමට විරෝධය පළකිරීම සඳහා එම ව්‍යාපාරිකයන් පිරිසක් ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

දේශීය පොල්තෙල් කර්මාන්තය මුහුණදෙන ගැටලු හා ඒවාට විසඳුම් ඇතුළත් යෝජනාවලියක්ද රැගෙන මෙම ව්‍යාපාරිකයන් පිරිස පා ගමනින් කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ යුතු බවයි.

පසුව පොලිසිය මැදිහත් වී ව්‍යාපාරිකයන් පස් දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදුන් අතර ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි සාකච්ඡාව සඳහා සහභාගී වූ

ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පැවසුවේ,

“කවදාවත් උද්ඝෝෂණවලට ආපු නැති පිරිසක් තමයි අද මේ විදියට ඇවිත් ඉන්නේ. ජනාධිපතිවරයාගේ නියෝගවලටත් උඩින් වැඩ කරන මහ බැංකු අධිපතිවරයාට අපේ ප්‍රශ්න ගැන අවබෝධයක් නෑ. අපි සාකච්ඡාවට ගියාම ගමගේ කියලා ජනාධිපති උපදේශකයෙක් අපිට කියනවා ජනාධිපති හම්බවෙලා වැඩක් නෑ ගිහිල්ලා මහ බැංකුව වට කරන්න කියලා. මෙහෙමද මේ නිලධාරි ප්‍රශ්න විසඳන්නේ…”

අනතුරුව ව්‍යාපාරිකයන් පිරිස මහ බැංකු පරිශ්‍රය දෙසට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර පොලිසිය හා කැරැලි මර්දන ඒකකය මැදිහත් වී තත්ත්වය පාලනය කර පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය.

කමල් බෝගොඩ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *