තමන්ට නිල නිවෙස අහිමි කිරීම සහ ආරක්ෂාව සඳහා ලබා දී ඇති පොලිස් නිලධාරීන් ඉවත් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශය ඔවුන්ට මැතිවරණය සඳහා උදව් කළ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටුකිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වර්තමානයේ බොහෝ අයට අතීතය අමතක වී ඇතැයි කී රාජපක්ෂ මහතා මහ බැංකු බෝම්බය, දෙහිවල දුම්රියේ බෝම්බය, එයාර් ලංකා බෝම්බ සිදුවීම, කොළඹට ගුවන් යානාවලින් බෝම්බ දැමීම ආදිය මගින් කොටි ත්‍රස්තවාදීන් රටට කරන්නට හැදූ මහා විනාශය නතර කළේ තමන්ගේ නියෝග අනුව ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර සෙබළුන් බවද සඳහන් කළේය.
එකල සතියකට ගම්වලට හමුදා සෙබළුන්ගේ දේහයන් සහිත සීල් තැබූ මිනීපෙට්ටි කොපමණ ආවේදැයි මතකයට නගා ගන්නා ලෙසද සඳහන් කළ රාජපක්ෂ මහතා, ඉන්දියාවේ හිටපු නායක රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් දහස් ගණනින් ඝාතනය කිරීම නතර කළේ තමන්ගේ රජය බව අවධාරණය කළේය.
මෙම තත්ත්වය යටතේ රටේ වැඩිම ආරක්ෂක තර්ජන සහිත රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සහ ඔහුට හිමි නිල නිවස අහිමි කිරීම ගැන රටේ පොදු ජනතාවගේ ප්‍රතිචාරය ඉදිරි මැතිවරණවල දී ආණ්ඩුවට බලාගත හැකිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. තමන් ආරක්ෂාව හෝ නිල නිවාස හෝ ඉල්ලා කිසි විටක කෙඳිරි ගාන්නේ නැති බවද ඔහු වැඩි දුරටත් කීය.