ජනතාව කියන්නේ ඡන්ද නොතබා අවුරුදු 10කට රට රනිල්ට දෙන්න කියලා…! – වජිර..

April 5, 2024 at 10:39 am | by emanisa.lk

ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ජාතික නායකයා වශයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“ලංකාවේ දේශපාලන පක්ෂ පිළිගන්නේ නැති තැනකට මහ ජනතාව ගමන් කරලා තිබෙනවා. ලෝකෙ කිසිම රටක නැති දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් තිබෙන රටේ නම ශ්‍රී ලංකාව. ඇත්ත වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 86ක් ලියාපදිංචි කරලා තියෙනවා. ඒ කියන්නේ රටට නොගැලපෙන දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් බිහිවෙලා.

එවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි අසුනකින් මන්ත්‍රීවරයෙක් වෙලා, අගමැතිවරයෙක් වෙලා, ජනාධිපතිවරයෙක් වෙලා ජාතිය ගොඩගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. මට ඊයෙ අවස්ථාව ලැබුණා උඩවලව ප්‍රදේශයේ හෝටල් කිහිපයක සේවක මහත්වරුන් හමුවෙන්න. ඒගොල්ලො කිව්වා ඔවුන්ට පඩියට අමතරව රුපියල් 65,000ක දීමනාවක් ලැබෙනවා දැන් කියලා. කොළඹ හෝටල් කිහිපයක සේවකයින් මට හම්බුණා, ඒගොල්ලන් කිව්වා ඒගොල්ලන්ගෙ වැටුපට අමතරව රුපියල් ලක්ෂයක අතිරේක දීමනාවක් ගන්න දැන් පුළුවන්කම ලැබිලා තියෙනවා කියලා.
එතකොට කඩාවැටුණු රටක් ගොඩගනිමින් ඉදිරියට ගෙනයාමට ක්‍රියාකරමින් තිබෙනවා. දේශපාලන පක්ෂ ගැන විශ්වාසයක් අවශ්‍ය වෙන්නෙ නෑ. මට එතන හිටපු කළමනාකරුවො කීපදෙනෙක් කිව්වා ඡන්දයක් අවශ්‍යද කියලා, බැරිද මේ රට අවුරුදු පහක් දහයක් අරන් යන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා. එනිසා දේශපාලන පක්ෂ බෙදිලා ගහගන්න එක නවත්වන්න තිබෙනවා. රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබනවා.”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *