ජනතාවට එක නීතියක් මැති ඇමතිලාට තව නීතියක් බෑ…. බීමතින් රිය පැදවූ රන්වලට නීතිය ක්‍රියාත්මක කරනු… රිය අනතුරේ වින්දිතයන්ගෙන් දැඩි විරෝධය….!

December 12, 2025 at 10:36 am | by emanisa.lk

සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

අශෝක රන්වල ධාවනය කළ ජීප් රථය ඊයේ (11) රාත්‍රී 08 පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් අශෝක රන්වල සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගමන්කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.

ඒ අනුව අශෝක රන්වල කිරිබත් ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රාගම රෝහලටත් ඉන්පසු කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අනතුරට පත් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ බිලිඳිය ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ ඇයගේ මව, මිත්තණිය කිරිබත්ගොඩ රෝහලටත් ඇතුළත් කර තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ අශෝක රන්වල සහ අනතුරට ලක් වූ මෝටර් රථයේ පැමිණි මව හා මිත්තනිය කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර සිටියද ඔවුන්ගේ සුව දුක් බැලීම සඳහා පැමිණි ඥාතීන්ට එම රෝහලට ඇතුළත් වීමට පොලිසිය ඉඩ නොදීමත් සමග එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

රෝහල වෙත පැමිණි ඥාතීන් ප්‍රකාශ කරන්නේ අශෝක රන්වල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තම පාර්ශ්වයට රෝගීන් බැලීම සඳහා ඇතුළු වීමට අවසර නොදුන් බවයි.

රෝහලට ඇතුල්වන ප්‍රධාන දොරටුව අසල බොහෝ වේලාවක් තමන් රඳවාගෙන සිටීම පිළිබඳව ඥාතීන් චෝදනා කරන්නේ තම පාර්ශ්වයට එක නීතියකුත් රන්වලගේ පාර්ශ්වයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන බවටයි.

රන්වලගේ දේශපාලන බලය යොදා ගනිමින් ඔහුගේ ඥාතීන්ට හා හිතවතුන්ට රෝහලට ඇතුල්වීමට අවසරයේදීම පිළිබඳව පොලිසියට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට ද ඥාතීහු දැඩි විරෝධය පළ කර සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබිණි.

අනතුර සිදුවන අවස්ථාව වන විට හිටපු කතානායක අශෝක රන්වල මහතා බීමතින් රිය ධාවනය කර ඇති බවට චෝදනා කරන තුවාල ලැබූ අනෙක් පාර්ශ්වය ඉල්ලා සිටින්නේ ඔහුට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එක් නීතියකුත් සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් ක්‍රියාත්මක වන බව මෙම සිද්ධියෙන් තහවුරු වන බවත් අනතුර සිදුවූ අවස්ථාවේ සිට ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය දෙස බැලීමෙන් එය මනාව තහවුරු වන බවත් ඔවුහු චෝදනා කරති.

අනතුර සම්බන්ධයෙන් සපුගස් කන්ද පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර අනතුරට ලක්වූ ජීප් රථය සහ මෝටර් රථයට යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *