චිචීගේ රොකට් එකට ලංකාව සතයක් වැය කර නෑ… දැන් රටට මිලියන දහස් ගණනින් ආදායම් ලැබෙනවා…! – අගමැතිනිය….

August 6, 2025 at 2:39 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී, සුප්‍රීම් සැට් (SupremeSAT) සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති කතාබහට සහ චෝදනාවලට පිළිතුරු දෙමින්, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වැදගත් කරුණු කිහිපයක් හෙළි කළාය.

විෂය භාර අමාත්‍යවරිය විසින් ආයෝජන මණ්ඩලය (BOI) වෙතින් ලැබුණු නිල තොරතුරු මත පදනම්ව මෙම ප්‍රකාශය සිදු කරන ලදි.

ඇයගේ ප‍්‍රකාශයෙන් පහත කරුණු හෙළි කළාය.

“2011,2012 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහලා තියෙන ප්‍රශ්නය අනුව සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම ගතවී තිබෙන්නේ 2012 මැයි මස 23 වන දින. ඒ 2013, 2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් මිලියන දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක් මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා.

සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ දාහත්වන වගන්තිය යටතේ දේශීය වෙළඳපොල කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නේ. රුපියල් මිලියන එක්දාස් අටසිය විසි අටක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-05-23 දින සුප්‍රීම් එස් එච් එස් ටී පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය 2015-08-27 දින සිට වාණිජ මෙහෙයුම ආරම්භ කර ඇත. පවතින වාර්තාවලට අනුව, වර්ෂ 2019 වන විට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ.

සුප්‍රීම් ඇසෙල් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම, කොටස් හතළිස් හත්මිලියන එක්ලක්ෂ අසූදහස් දෙසීයක්. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම, කොටස් එකසිය අසූ අට මිලියන තුන්ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හැත්තෑව. අර පළවෙනි එකට සීයට විස්සයි. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමට සියයට අසූවයි. ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මුල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම විසින් පහත සඳහන් ආදායම් ලබා ඇත.

වර්ෂ 2015, 2016 ආදායම රුපියල් මිලියන දහනමදාස් හයසිය දාහතයි. 2016, 2017 ආදායම රුපියල් මිලියන විසිඅටදාස් එකසිය තිස් තුනයි. 2017, 2018 විසිනමදාස් එකසිය හයයි. 2018, 2019 තිස්හතරදාස් එකසිය හැට නමයයි. 2019, 2020 හතළිස් දෙදාස් නමසිය හැටයි. 2020, 2021 හැට දෙදාස් පන්සිය හතළිස් පහයි. 2021, 2022 අසූ හත්දහස් හත්සිය අසූ නමයයි. 2023 පලවෙනි මාස හය තුල තිස් නමදාස් පන්සීය අනුවයි. දීලා තියන වාර්තා අනුව කතානායකතුමනි මං මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි.”

අග්‍රාමාත්‍යවරියගේ ප‍්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක මහතා අවධාරණය කළේ, ‘චිචීගේ රොකට්’ එක ලෙස සමාජයේ ජනප්‍රිය වූ මෙම ව්‍යාපෘතිය, ‘ඩොලර් මිලියන 300ක් ආයෝජනය කර අතුරුදහන් වූ’ ව්‍යාපෘතියක් ලෙස සභානායක බිමල් රත්නායක චෝදනා අසත්‍ය බවයි.

ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ඒ සඳහා රුපියලක් ආයෝජනය කර නොමැති අතර, වාර්ෂිකව විශාල ආදායමක් ලැබී ඇති බවයි. පාර්ලිමේන්තුවේදී පවා ඇතැම් මන්ත්‍රීවරුන් මෙම ආයෝජනය අතුරුදහන් වී ඇති බවට ප්‍රකාශ කර තිබූ බවත්, එය රටට ලැබුණු විශාල ආයෝජනයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ වසරේ රටට ලැබී ඇති විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ගැන ඩී.වී. චානක විමසූ විට අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළේ ඒ පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බවත්, ආයෝජනයක ප්‍රමාණය (ලොකුද, පොඩිද) පමණක් වැදගත් නොවන අතර රටේ සංවර්ධන ඉලක්ක සමඟ එය ගැලපේද යන්න සලකා බලා ආයෝජනයක් හොඳද නරකද යන්න තීරණය කරන බවත්ය.

අග්‍රාමාත්‍යවරිය අවසාන වශයෙන් ප්‍රකාශ කළේ, ලැබී ඇති දත්ත සහ වාර්තා මත පදනම්ව තමා මෙම පිළිතුර සැපයූ බවත්, ආයෝජනයේ ප්‍රමාණය හෝ එය හොඳද නරකද යන්න සමාජය තීරණය කරනු ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *