ගෑස් හිඟයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නෑ… හිඟයක් ඇති වුණේ හදිසි ඉල්ලුම නිසයි…! – ඇමති වසන්ත සමරසිංහ…

February 20, 2026 at 9:35 am | by emanisa.lk

රටේ ගෑස් හිඟයක් ඇති වීමට ලිට්‍රෝ ගෑස් සමාගම කිසි විටකත් ඉඩ නොතබන බවත් දැනට ප්‍රශ්නයක් ඇතිවී ඇත්තේ ලාෆ්ස් ගෑස් බෙදාහැරීම සති කිහිපයක් තිස්සේ නතර වී තිබීම නිසා බවත් වෙළඳ, වාණිජ, සමූපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“මේ ප්‍රශ්නය ඇති වුණේ දැන් පසුගිය සති දෙකක් තුනක් තිස්සේ ලාෆ්ස් ගෑස් සමාගමේ ගෑස් බෙදාහැරීම නවත්තලා තියෙනවා. ඒ නිසා ගෑස් පාරිභෝගිකයා තුළ බියක් ඇතිවෙලා තියෙනවා, ඒ පාරිභෝගිකයින් දැන් ලාෆ්ස් ගෑස් සිලින්ඩරය වෙනුවට ලිට්‍රෝ ගෑස්වලට ගිහින් තියෙනවා. ඒ නිසා දැන් ගෑස් වෙළඳපොලේ ඇතිවෙච්ච හදිස්සි ඉල්ලුම නිසා – සාමාන්‍යයෙන් අපි නිදහස් කරන්නෙ ගෑස් මෙට්‍රික් ටොන් 1200යි – දැන් 1500ක් අද දවසෙත් හෙට දවසෙත් සෙනසුරාදා දවසෙත් නිදහස් කරන්න සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන් වෙළඳපොළේ ඇතිවෙලා තියෙන ගෑස් හිඟය අවම කිරීම සඳහා.

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් හිඟයක් ඇතිවෙන්න දෙන්නෙ නෑ කොයි වෙලාවෙවත්. මේ වෙනකොටත් දවස් තුනකට අවශ්‍ය ගෑස් තියෙනවා, ඒ වගේම ඉරිදා එනවා එක නැවක්, ආපහු අඟහරුවාදා එනවා තව නැවක්. ඒ විදියට නැව් ටික ෂෙඩුල් කරලා තියෙනවා. හැබැයි අපි ලාෆ්ස් ගෑස් සමාගමේ ආයතනයට නිශ්චිතවම දැනුම් දීලා තියෙනවා, අද දවසෙත් ලිඛිතව දැනුම් දුන්නා වහාම ගෑස් ටික ගෙනල්ලා බෙදාහැරීමේ කටයුතු කරන්න කියලා. අපට දැනගන්න ලැබුණු විදියට 25 වෙනිදා තමයි ඔවුන්ගෙ නැව එන්න ඉඩ තියෙන්නෙ. මේ හදිසි ගෑස් හිඟයක් ඇතිවේ යැයි නිව්ස් හදන කට්ටියක් ඉන්නවා.

ප්‍රශ්නයක් තියෙනවා කහ ගෑස් සිලින්ඩරේ විතරක්ම තියෙන කෙනාට නිල් එක එකපාර ගන්න බෑ. ඒ සැපයුම කඩිනමින් ඔවුන් නොකරනවා නම් ඒකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පාරිභෝගික අධිකාරියට පනතෙන් පුළුවන්කම තියෙනවා.”

ඇමති වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *