බාල ගල්අඟුරු ගෙන්වීමෙන් සිදුවූ පාඩුව හා විනාශය රටට හෙළි නොකර එය වසන් කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි දින පහකට අධික කාලයක් නොරොච්චෝලේ බලාගාරයේ සිට කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසයි.
ඔහුගේ ප්‍රධාන සැලසුම වී තිබෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේ ඉහළ තනතුරුවලට පත් කරගෙන සිටින ගජ මිතුරන් මාර්ගයෙන් මෙම වංචාව සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධ නොකර සිටීම බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඩී.වී. චානක තව දුරටත් කියා සිටියේ ගල් අඟුරු වංචාව වසා ගැනීම සඳහා ආණ්ඩුවේ ඉහළ සිට පහලට දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
ගල් අඟුරු වංචාව නිසා අද විදුලි බලය නොමැතිව ජනතාවට අනේකවිද දුක්ගැහැටවලට මුහුණ දීමට සිදුව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා සිංහල දෙමළ අලුත් අවුරුදු සමය අඳුරේ ගත කිරීමට සිදුවෙන තත්ත්වයක් දැන් උදාවෙමින් තිබෙන බවද අවධාරණය කළේය.
අවුරුදු සමයේ පවත්වන උත්සවවලට ජෙනරේටර් භාවිත කිරීමට දැනුම් දී ඇති බවත් මාලිමා ආණ්ඩුව ගල් අඟුරු වංචාව සිදු නොකළේ නම් මෙවැනි විනාශකාරී තත්ත්වයකට රට තල්ලු නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
නොරොච්චෝලේ පළමු වාර්තාව ජනවාරි මස 02 දින ප්‍රකාශයට පත්වුවත් මාස තුනක් ගතවන තෙක් එහි නොගිය ඇමති කුමාර ජයකොඩි ඔහුට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කිරීමෙන් පසු දින ගණනාවක් එහි නතර වී ගජ මිතුරන් මාර්ගයෙන් එහි වාර්තා වසන් කරමින් ගල් අඟුරු වංචාව වසන් කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.