වත්මන් ආණ්ඩුව තරුණ සේවා සභාව, යෞවන සමාජ ක්ෂේත්‍රය සහ යෞවන සමාජ සම්මේලනය තදබල ලෙස දේශපාලනීකරණයට ලක් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභාව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථිර ශාඛාවක් බවට පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකදීය.
තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය හෝ නිදහස් තාරුණ්‍යය යනු ජනතා විමුක්ති පෙරමුණේ සුවච කීකරු ගෝලයන් බවට දේශපාලන බලය යොදා පත් කර ගැනීමේ නින්දිත දේශපාලන ප්‍රවාහය ප්‍රතික්ෂේප කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඒ වෙනුවෙන් ආදි යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් ඒකරාශී කර ගෙන නැවත වරක් යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභා ඇතුළු තාරුණ්‍යයේ නිදහස උදා කරන ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරා යොමුවන බවත් පැවසීය.
අද වන විට ගමේ සිවිල් ආරක්ෂක කමිටුව පවා දේශපාලනීකරණය වී ඇති බවත් ඉදිරියේ දී මරණාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති හා කාන්තා සමිති පවා මේ දේශපාලනයට ලක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
රටේ සෑම සංවිධානයකම කෙසේ හෝ බලය ඇල්ලීමට ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලි ආඥාවක් මගින් නියෝග කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මෙය සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.