ගංජා හම්බවුණේ මන්ත්‍රීතුමාගෙ ඉඩමක නෙමෙයි.. ඔහු පහර දීලත් නෑ.. PC බොරු කියන්නේ….! – DIG මාධ්‍ය හමුවක…

December 23, 2025 at 6:57 am | by emanisa.lk

සබරගමුව පලාතේ සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල මෑතකදී ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු පිළිබඳව සබරගමුව පලාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

ගංජා පැල දෙකේ සිද්ධිය පසුගිය 16 වනදා සූර්යකන්ද පොලිස් වසමේ වැලි කුඹුර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී, තීන්ත බකට් එකක වගා කර තිබූ අඩි දෙකක් පමණ උසැති ගංජා පැල දෙකක් සමඟ ජනිදු සඳුවන් උදයංග නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භූමිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට අයත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද, පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ එම ඉඩම මන්ත්‍රීවරයාට හෝ ඔහුගේ බිරිඳට අයත් නොවන බවයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 3,000ක දඩයක් ගෙවා නිදහස් වී ඇති අතර, ඔහු එම ඉඩමේ කාලයක සිට වගා කටයුතු සිදුකරන බවද අනාවරණය වී ඇත.

පොලිස් නිලධාරියාට පහර දුන් බවට කළ පැමිණිල්ල මෙම වැටලීමට සම්බන්ධ වූ සුසන්ත හෙට්ටියාරච්චි නමැති පොලිස් කොස්තාපල්වරයා, පසුගිය 20 වනදා රාත්‍රියේ තමාට මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් පහර දී යතුරුපැදිය පැහැරගත් බවට 119 හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් කර තිබුණි.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා විසින්ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරමින් කියා සිටියේ, බීමත්ව සිටි අදාළ නිලධාරියා තම වාහනය අසලට පැමිණ පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් තර්ජනය කළ බවයි.

විමර්ශනවලින් හෙළි වූ කරුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ පොලිස් නිලධාරියාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී බරපතල රස්පරතා හෙළි වූ බවයි.

පැහැරගත් බව කියන යතුරුපැදිය, යතුරත් සමඟම සිද්ධිය වූ ස්ථානයේම තිබී පොලිසිය සොයාගෙන ඇති අතර නිලධාරියාට පහර දී ඇති බවට කළ ප්‍රකාශය අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් ප්‍රතික්ෂේප වී ඇති අතර, ඔහුට කිසිදු පහරදීමක සලකුණක් නොමැති බව තහවුරු වී ඇත.

මෙම නිලධාරියා අසත්‍ය පැමිණිල්ලක් කර ඇත්තේ යම් පිරිසකගේ උසිගැන්වීමක් මතද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

නෛතික පියවර මන්ත්‍රීවරයාට මඩ ගැසීමේ අරමුණින් හෝ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම අසත්‍ය පැමිණිල්ල සිදු කළේ දැයි පොලිසිය සැක පළ කරයි. ඒ අනුව, අසත්‍ය පැමිණිල්ලක් කිරීම සහ අපරාධමය බියගැන්වීම් යන චෝදනා යටතේ පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටියාරච්චි අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කල බවත් ඒ් මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *