කොළඹ නගරාධිපති සටන ගල උඩට…. සජබ රීසා සාරුක්ට අත්සන් 62ක්…!

June 15, 2025 at 12:58 pm | by emanisa.lk

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග වදින සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රීසා සාරුක්ට මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අද (15) එම මන්ත්‍රීවරුන් 62 දෙනාගේම අත්සන් සහිතව ලේඛනයක් ද සකස් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 48ක් සහ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර 69ක් ද හිමිවී තිබිණි.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් 59 දෙනෙකුගේ සහාය අවශ්‍ය වන අතර රීසා සාරුක්ට දැනටමත් මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය අත්සන් සහිතව ලැබී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුව ද මෙම මන්ත්‍රීවරුන් 62 දෙනා අතරට සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ එක්සත් ජාතික පක්ෂයේ ටෝනි රම්සි ඇතුළත් නොවන බව ද සඳහන් වෙයි.

සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනා කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බවක් ප්‍රකාශ කර ඇති අතර ටෝනි රම්සි මන්ත්‍රීවරයා රීසා සාරුක්ට සහාය නොදෙන බව මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ හෙයින් ඔවුන් නොමැතිව මෙසේ මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ අත්සන් ලේඛනය සකස් කරගෙන ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ නගර සභාව වැඩිම කාලයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ කිත්සිරි රාජපක්ෂට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබාදීමට ද එකඟතාවකට පැමිණ ඇති නගරාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (16) පැවැත්වීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *