මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට ශ්‍රී ලංකා රජයේ විරුද්ධත්වය ප්‍රකාශ කළ නමුත් ඡන්දයක් ඉල්ලා සිටියේ නම් කොහොමත් පරාජයට පත්වෙන නිසා ඡන්දයක් නොඉල්ලූ බව විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසයි.
“මානව හිමිකම් කවුන්සිලයේ ව්‍යුහය හා සංයුතිය අනුව ශ්‍රී ලංකාව වැනි රටකට ඡන්දයක් ජයග්‍රහණය කිරීම අභියෝගයක්. නිව්යෝර්ක්වල තිබෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සෑම රාජ්‍යයකටම එක් ඡන්දයක් හිමිවෙනවා. නමුත් ජිනීවාවල තිබෙන මානව හිමිකම් කවුන්සියලයේ එසේ නොවේ. 193ක් වන එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතරින් මෙම කවුන්සිලයේ එක් වරකට සාමාජිකයින් විය හැක්කේ රටවල් 47කට අඩුවෙන් අවුරුදු තුනක කාලයක් සඳහා පමණයි.
එම සාමාජිකත්වය ලැබෙන්නෙත් කලාපීය පදනම මත. සමහර කලාපීය රටවල් – උදාහරණයක් වශයෙන් යුරෝපා රටවල් – එක් මතයක පිහිටා කටයුතු කරන බැවින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවක් පරාජයට පත්වීම ඉතා විරලයි. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවොත් අපේ රට සම්බන්ධ යෝජනාවක් ජයග්‍රහණය කළේ එක් අවස්ථාවක පමණයි. ඒ 2009දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපේ රජයම ගෙනා යෝජනාවලිය. ඉන්පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම්වලට ගිය සෑම අවස්ථාවකම අපි පරාජයට පත්වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවට ලැබුණු කුඩා ඡන්ද ප්‍රමාණය එන්න එන්නම අඩුවෙන අතර ස්ථාවරයක් නොගන්නා රටවල් ගණන ක්‍රමයෙන් වැඩිවී ඇති බව පෙනෙනවා.
නමුත් විමතියට කරුණ වන්නේ එවකට සිටි රජයන් පරාජය වන බව දැන දැනත් මෙම ඡන්ද ව්‍යාපාර සඳහා මහජන මුදල් මිලියන ගණන් වැයකිරීමයි. මැති ඇමතිවරු සහ නිලධාරීන් මානව හිමිකම් කවුන්සිලයේ රටවල සංචාරය කළා. එම රටවලට විවිධාකාරයෙන් උදව් පදව් කළා. ජිනිවා සැසිවාරය පැවැත්වෙන දිනවල මැති ඇමතිවරුන් සහ නිලධාරීන් විශාල වශයෙන් ස්විට්සර්ලන්තයේ සිටිමින් කාලය සහ මහජන මුදල් වැය කළා. මේ සියල්ල ඔවුන් කළේ ඡන්දය පරාජය වෙනවා කියන යතාර්ථය දැන දැනම හුදු මාධ්‍ය සංදර්ශන මගින් රටේ ජනතාව නොමග යැවීමට පමණයි.
මෙයටත් වඩා ලොකුම ගැටලුව වන්නේ ඡන්දයක් ඉල්ලමින් අපි ගැටුම්කාරී ආකල්පයකින් කටයුතු කිරීමෙන් සිදුවන්නේ දැනට ජාත්‍යන්තරීකරණය වී ඇති මම ප්රශ්නය දේශීය තලයට ගෙනවිත් විසඳාගැනීමේ අවකාශය අහුරා දැමීමයි. ජිනීවා යෝජනාවලිය සම්මත වීමට පෙර නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ද මානව හිමිකම් කොමසාරිස්වරයා, ගරු ජනාධිපතිතුමා සහ මා මුණගැසී සාධනීය සාකච්ඡා සිදුකළා. 2021 සම්මත වූ 46/1 යෝජනාවලිය මගින් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන උල්ලංඝනයන් සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීමට මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා අකවුන්ටබිලිටි ප්‍රොජෙක්ට් නමින් අංශයක් පිහිටුවනු ලැබුවා.
දේශීය නොවන මෙවැනි යාන්ත්‍රණ ශ්‍රී ලංකාව පිළිනොගන්නා බව මාර්තු මාසයේදීත් සැප්තැම්බර් මාසයේදීත් විදේශ ඇමති වශයෙන් මම සහ අපගේ ජිනීවා නිත්‍ය නියෝජිතවරිය ඉතා පැහැදිලිවම කවුන්සිලයේ ප්‍රකාශ කළා. එසේ ජාත්‍යන්තර යාන්ත්‍රණ ප්‍රතික්ෂේප කරන අතරම අපගේ උත්සාහය වන්නේ මෙම ගැටලුව අපගේම රටේ ස්වාධීන ක්‍රියාවලි හා ආයතන මගින් විසඳාගැනීම සඳහා සියලු දෙනාගේ සහාය ලබාගැනීමයි.”
විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍යදැයි විමසා සිටි අවස්ථාවේදී කිසිවෙකු අදහස් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් එම යෝජනාව ඒකමතිකව සම්මත වූ බව නිවේදනය කර තිබිණි.