කුරුන්දි විහාරය සිංහල උරුමයක්…! ජනාධිපතිගේ දෙමළ බෞද්ධ කතා බොරු…! – මහින්ද පතිරණ…

June 12, 2023 at 6:51 pm | by emanisa.lk

ජනාධිපතිවරයා වීඩියෝවක කියනව දැක්ක මුලතිව්, කුරුන්දි විහාරය දෙමළ බෞද්ධයින් සිටි විහාරයක් බව. එය කුමන සාධක මත කියනවද දන්නෙ නැහැ. කුරුන්දි විහාරය ගැන මහාවංසයේ 33 වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ කුරුන්දාවශෝක කියල.

එම විහාරය ඛල්ලාට නාගවිසින් ක්‍රි.පූ 2 වන සියවසේ ගොඩ නැගූ බවත් එහි කියවෙනවා. පසුව මෙම විහාරය අග්බෝ ආදි රජවරුන් විසින් වරින් වර ප්‍රතිසංස්කරණය කරල තියෙනවා. අවසානයේ තුන්වන මිහිදු රජු (ක්‍රි.ව 937-) විසින් ශිලාලේඛනයක් පිහිටුවා ඇති අතර 1895 දී පමණ එම ලිපිය ඉංග්‍රීසි ආණ්ඩුවේ වන්නි ඒජන්ත වූ ලිවයිස් විසින් සිය The Manual of Vanni District නම් ලේඛනයේ වාර්තා කරනවා. මෙම වාර්තාව තුළ අදාළ විහාරය, දාගැබ හා දාගැබින් ගඩොල් කඩා ගෙන මුල්ලවයික්කාල් කෝවිල සාදා තිබෙන අයුරුද සඳහන්.

සිංහල අටුවා අතරින් කුරුන්දි අටුවාව මෙම විහාරයේ සිට රචනා කරන ලද හෙයින් ඊට එම නම ලැබී ඇති බව සිතන්න පුළුවන්. මහාවංසය පවා මෙය සටහන් කිරීමෙන් පෙනී යන්නේ එය එවක ප්‍රධාන පෙළේ විහාර සංකීර්ණයක් වූ බවයි.

කෙසේ වෙතත්, මේ වන විට 1895 වන විට ද එහි තිබූ සෙල්ලිපිය අතුරුදන් වී තිබෙනවා. බොහෝ විට එල්ටීටීඊය හෝ වෙනත් දෙමළ සංවිධානයක් විසින් එය කරන්න ඇති. ඊට ප්‍රධාන හේතුවක් තිබෙනවා. එම සෙල් ලිපියට අනුව, අදාළ ප්‍රදේශය සඳහන් වන්නේ “කුරුන්ගාම” ලෙස. මෙය දමිළ නිජබිම් සංකල්පය බිඳදමන තවත් ස්ථානයක්.

“කුරුන්ගාම” යන්න විශේෂ වන්නේ එය සිංහල නමක් විනා, දමිළ නමක් නොවන නිසයි. පසුකාලීන මෙම ප්‍රදේශ දමිළ ආක්‍රමණිකයන් විසින් ජනපදකරණය කරන්න ඇති. එහෙත් තුන්වන මිහිදු සමයේ පවා එම ගම සිංහල නමකින් සටහන් කිරීමෙන් පැහැදිලි වන්නේ එය ඒ වන විට දෙමළ ජනාවාසයක් නොවූ බවයි. ඒ අනුව, මෙය දෙමළ බෞද්ධයින්ගේ විහාරයක් යන ජනාධිපතිවරයාගේ මතය පිළිගත නොහැකියි.

මහින්ද පතිරණ

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *