‘ක්ලීන් ශ්‍රී ලංකා’ රටේ හෙට දවසට ඉතා ම වැදගත්…! – පූජ්‍ය වේඬරුවේ උපාලි හිමි….

January 7, 2025 at 9:33 am | by emanisa.lk

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ රටේ හෙට දවස වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීරණයක් බවත් ඒ සඳහා පුරවැසියන් ලෙස අප සියලු දෙනාගේ සහයෝගය ලබාදීම වැදගත් බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

“ඉංග්‍රීසි පාලනකයින්ගෙන් නිදහස ලබා මේ වසරේ දී අපි 77 වැනි වසර සමරනවා. මේ කාලය දෙස ආපසු හැරී බැලුවොත් තිස් අවුරුදු යුද්ධයක් අපි දැක්කා. සුනාමියකින් ජීවිත හා දේපළ හානි සිදු වුණා. නාය යෑම්, කුණු කඳු කඩා වැටීම්, ජාතිවාදී ගැටුම්, අල්ලස දූෂණය, අපරාධ හා නාස්තිය දැක්කා.

තරුණ පිරිස රටේ ජීවත් වීමට වඩා රට හැර යන තැනට මානසිකත්වයක් ගොඩනඟාගෙන තිබෙනවා. අපරාධ, අල්ලස හා දූෂණය පැත්තෙන් ගත්තොත් රටවල් 184ක් අතරින් අපි ඉන්නේ 91 වැනි තැනයි. බුදු දහම රජ කරන රටක එහෙම වෙන්න පුළුවන්ද කියලා කල්පනා කර බැලිය යුතුයි. අපරාධ නැති කරන්න නීති හා දඬුවම් ක්‍රියාත්මක වෙනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. බාහිර පරිසරය පමණක් නොව ජනතාවගේ සිතුම් පැතුම් ද ක්ලීන් විය යුතුයි. රජයේ සේවකයා රාජ්‍ය ලාංඡනය මුල්කරගෙන කටයුතු කරන්නේ. එහි ඉහළින්ම ධර්මචක්‍රය තියෙන්නේ. රාජ්‍ය සේවකයෙකුට වරදක් කරන්න බැහැ.
සොරකමක් ලෙස සැලකෙන්නේ භාණ්ඩ සොරා ගැනීම පමණක් නෙවෙයි. රාජ්‍ය සේවකයෙක් තමන්ගේ රාජකාරි වේලාවේ දී වැඩක් නොකර කාලය කාදමනවා නම් ඒකත් සොරකමක්.

රටක් දියුණු වෙන්න නම් පළමුව රට, රැකියාව, පවුල හා තමන් යන සංකල්පයේ සිට ජනතාව ක්‍රියා කළ යුතුයි. නමුත් අපේ රටේ සිදුවන්නේ මෙහි අනිත් පැත්ත. තමන්, පවුල, රැකියාව හා අවසානයේ රට කියන සංකල්පයෙන් මිදී අප ක්‍රියා කළොත් දියුණුවක් අත්පත් කරගත හැකියි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ඔස්සේ මේ සියලු දේවල් ක්ලීන් විය යුතුයි.”

රටේ සංවර්ධනයට විශේෂයෙන් රට කරවන අය පමණක් නොව රටේ ජීවත්වන සියලු දෙනාගේ දායකත්වය ඊට ලැබිය යුතු බව ද උන්වහන්සේ කීහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *