ඔන්ලයින් සේෆ්ටි බිල බොරු බිල්ලෙක් කළා.. පක්ෂේ කී නිසායි විරුද්ධ වුණේ… මට සමාවෙන්න…! – සජබ මන්ත්‍රී…

July 13, 2024 at 9:27 am | by emanisa.lk

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කැබිනට් පත්‍රිකාවට විරුද්ධව ඡන්දය දීම පිළිබඳ අද කනගාටු වන අතර සමාව ද ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

“අද මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම සමාව ඉල්ලනවා. ඒ තමයි මේ ගරු සභාවට ඉදිරිපත් වුණා ඔන්ලයින් සේෆ්ටි බිල් එක. ඔන්ලයින් සේෆ්ටි බිල් එක මම පෞද්ගලිකව දැක්කා වැදගත් කියලා. හැබැයි අපිට එදා පෙන්නුවේ මහා බිල්ලෙක් විදිහට. මේ ළඟදි මුහුණු පොතේ ගිය අපහාසාත්මක පළකිරීමක් පිළිබඳව පැමිණිල්ලක් දාන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුට කතා කළා ඔන්ලයින් සේෆ්ටි බිල් එක යටතේ මට පැමිණිල්ල දාන්න පුළුවන්ද කියල.

ඒ උසස් නිලධාරියා මට කියපු දේ තමයි මන්ත්‍රීතුමා අනිවාර්යෙයන් ඔබට පැමිණිල්ල දාන්න පුළුවන් හැබැයි ඔබතුමා මේකට විරුද්ධ වුණා නේද කියල. ගරු සභාපතිතුමනි, මට ලජ්ජා හිතුණා. මොකද එදා අපිට මේකෙන් බිල්ලෝ මවල පෙන්නුවේ. මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක හරහා අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති වෙනවා අපිට දේශපාලනය කරන්න බැරි වෙනවා. දාන කියන දේවල් වලින් හිරේ විලංගුවේ දානවා කියල.

හැබැයි මට ඒ නිලධාරියා පැහැදිලි කළා මේ වෙනකොට තාමත් ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ කමිටි එක පත්කරලා නැහැ කියල. මම ඉල්ලීමක් කරනවා රජයෙන් වහාම මේ ඕන් ලයින් සේෆ්ටි බිල් එකේ කමිටි එක පත් කරන්න. මොකද සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය බොරු ප්‍රකාශ කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ක්‍රියාදාමය ඒ අවශ්‍ය ආයතනවලට අවශ්‍ය පසුබිම හදල දෙන්න ඕනේ. මම කනගාටු වෙනවා මම සමාව ඉල්ලනවා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධව ජන්දය ලබා දීම පිළිබඳව. මොකද අපිට පක්ෂයෙන් කරපු ඉල්ලීම මත අපිට ඒක කරන්න වුණා.”

කාවින්ද ජයවර්ධන මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *