එක පෑන් පහරින් ප්‍රශ්න විසඳන්න ආව පච ආණ්ඩුව ජනතාව අන්දනවා…! – සජිත්…

April 18, 2025 at 9:29 am | by emanisa.lk

බොහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණට බහුතරය ලබා දී බඩු මිල අඩු කරන, විදුලි බිල හා තෙල් මිල අඩු වෙන, ජීවත් විය හැකි රටක් බිහි වන රාජ්‍ය පාලනයක් අපේක්ෂා කළත් මේ මොහොත වන විට මැතිවරණ වේදිකාවේ වූ පොරොන්දු ඉටු නොකරන ජනතාව අන්දවන පච ආණ්ඩුවක් රටේ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආහාර පානවල මිල වැඩි වීමට බඩු මිල ඉහළ යාමට රජයට විසඳුමක් නොමැති බවත් දරුවන්ගේ මව්වරුන්ගේ ජනතාවගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා පවා ඉටු කළ නොහැකි වී ඇති බවත් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ පවා හිඟ බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ වන විට පාසල් උපකරණ අත්‍යාවශ්‍ය ආහාරවලට පවා වැට් බදු ගසන බවත් ඊට අමතරව ජනතාවට පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය පවා ලබා නොදී ඇති බවත් එක පෑන් පාරින් ජනතා ගැටලුවලට විසදුම් සපයනවා කිව්වත් කිසිවක් ඉටු නොවී ඇති බවත් මේ අය පැය 24ම ජනතාව රැවටීම බොරු කීම ඇන්දවීම පමණක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්තියට ඉඩ දෙනවා යැයි මැතිවරණ වේදිකාවේ කිව්වත් අද වන විට පුනර්ජනනීය බලශක්ති ක්⁣ෂේත්‍රය විනාශ කරන බවත් පුනර්ජනනීය බලශක්තියෙන් බැහැරව රජය ඉන්ධන මාෆියාව ගල් අඟුරු මාෆියාවට හසුවී ඇති බවත් වැඩි මිලකට විදුලිය නිපදවන තාප ඉන්ධන හා ගල් අඟුරු බලාගාර හරහා කොමිස් ගන්න පහසු නිසා සූර්ය බලශක්ති බලාගාරවලට රජය අවසර නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නව ආයෝජන රටට එන්න නම් විදුලි බිල අඩුවිය යුතු බවත් ඒ සදහා වාසිම පුනර්ජනනීය බලශක්තිය වුවත් වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා දුප්පත්කම වැඩි වී ආහාර හා ආහාර නොවන අවශ්‍යතාවල මිල වැඩි වී ඇති බවත් දරිද්‍රතාව අසහනය නිසා ජනතාව අමාරුවෙන් ජීවත් වන බවත් එම නිසා පච දේශපාලනය වෙනුවට ජනතා ගැටලුවලට උත්තර ලබා දෙන යුගයක් අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *